October 5, 2026

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ පැවැති වීදි විරෝධතාවක් අතරතුරදී, පොලිස් නිලධාරීන් විසින් කාන්තා ජනමාධ්‍යවේදිනියන් තිදෙනකුට ලිංගික අතවර සිදකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් තරුණ පිරිස් පැවැත්වූ විරෝධතාවක් පොලිසිය විසින් බලහත්කාරයෙන් විසුරුවා හැරීමෙන් අනතුරුව මෙම සිදුවීම අනාවරණය වී ඇත.

ඡන්ද නාම ලේඛනවල විශාල පරිමාණයේ වෙනස්කම් සිදුකිරීමට එරෙහිව ග්‍යානේෂ් කුමාර් ඉල්ලා අස්වන ලෙස බලකරමින් දිල්ලි සහ මුම්බායි නගරවල දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වූ අතර, මෙම විරෝධතා මර්දනය කිරීමේදී පොලිසිය විසින් විරෝධතාකරුවන් බිම දිගේ ඇදගෙන යමින් දැඩි ම්ලේච්ඡ ලෙස හැසිරෙමින්, කාන්තා ජනමාධ්‍යවේදිනියන්ට නුසුදුසු අයුරින් නුසුදුසු ලෙස ශරීරය ස්පර්ශ කිරීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වේ.

තම හිසෙන් ඇදගෙන ගිය බව ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන ආහ්නා සිං ජනමාධ්‍ය වෙත පවසා ඇත.

මෙම හැසිරීම සම්බන්ධයෙන් ඉන්දියානු පුවත්පත් සමාජය දැඩි කම්පාවක් පළකර ඇති අතර, වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටී.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමාධ්‍යවේදීන්ට බියෙන් තොරව නිදහසේ තොරතුරු වාර්තා කිරීමට ඉඩ ලබාදිය යුතු බව ඔවුන් අවධාරණය කර ඇත.

මේ අතර, තත්ත්වය බරපතළ අතට හැරීමත් සමඟ දිල්ලි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පැමිණිල්ල විමර්ශනය සඳහා අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇති බවයි.