October 9, 2024

දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට මහජනතාව අධිෂ්ඨාන කරගෙන සිටින බැවින් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා පරමාදර්ශී අපේක්ෂකයන් තම ලැයිස්තුවලට ඉදිරිපත් නොකළහොත් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම පාහේ ඉතිහාසයට එක්වනු ඇති බව සිවිල් සාමූහිකය පවසයි.

සිවිල් සමාජ සංවිධාන 40කට අධික සංඛ්‍යාවකින් සමන්විත සිවිල් සාමූහිකය කොළඹදී ඊයේ දියත් කරන ලද මහ මැතිවරණයේදී ‘පරමාදර්ශී දේශපාලන අපේක්ෂකයකු සඳහා පැතිකඩක්’ තක්සේරු කිරීම සඳහා කරුණු 10ක නිර්ණායකයක් මහජනතාවට හඳුන්වා දෙන ලදී.

මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ අනාගතයේ දී මහජන නියෝජිතයන් පිරිසිදු ඡන්දයකින් තෝරා පත්කර ගැනීම පිළිබඳව ජනතාව දැනුවත්ව සිටින බැවින් දේශපාලන පක්ෂ සහ එහි නායකයන් තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු බවයි.

තක්කඩි සහ දූෂිත දේශපාලන පසුබිමක් ඇති අපේක්ෂකයන් මෙවර ජනතාව පැහැදිලිවම ප්‍රතික්ෂේප කරන බවත්, එවැනි දේශපාලන පක්ෂ ඉතිහාසයට එක්වීමට මගපාදන බවත් ඔහු පැවසීය.

“පාර්ලිමේන්තුවට නීත්‍යනුකූල අපේක්ෂකයකු තෝරා ගැනීම පමණක් නෙවෙයි මහජනතාව සැළකිලිමත් විය යුත්තේ, හොඳම දේ සාක්ෂාත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මනා දැනුමක් ඇති අය තම ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස යැවීමට කටයුතු කල යුතුයි,” යනුවෙන් හෙට්ටිආරච්චි පැවසීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) නියෝජනය කරමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පුරවැසියන්ට අවශ්‍ය නම් දූෂණයෙන් කිලිටි නොවන ප්‍රතිපත්ති සම්පාදකයන් පත්කර ගැනීමට වගබලා ගත යුතු බවයි.

“ඔබ ඡන්දය දෙන්නේ කාටදැයි සිතා බලන්න, ඔබේ දරුවන් සමඟ අවංකව ජීවත් වීමට අවශ්‍ය රට ගැන සිතන්න,” යනුවෙන් සරවනමුත්තු පැවසීය.

දියත් කරන ලද තක්සේරු නිර්ණායකවලට අධ්‍යාපනය සහ සුදුසුකම්, ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය, දූෂණ චෝදනා, අපරාධ වාර්තාව, අවංකභාවය සහ සදාචාරාත්මක ප්‍රමිතීන්, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට ඇති කැමැත්ත, කාර්ය සාධන වාර්තා, ප්‍රජා මානසිකත්වය, වාර්ගික නොවන සහ ප්‍රදේශය සඳහා ඇති සැලැස්ම ඇතුළු කරුණු 10ක් ඇතුළත් වේ.

සිවිල් සාමූහිකයට සම්බන්ධ ප්‍රමුඛ සංවිධාන වන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමය, ශ්‍රී ලංකා ජාතික සාම සභාව, පැෆ්රල්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජ සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරය, මාර්තු 12 ව්‍යාපාරය, ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, සමස්ත ලංකා ජමියතුල් උලමා, තරුණ ක්‍රිස්තියානි සංගමය, ජාතික ශුරා සභාව සහ තරුණ මුස්ලිම් සංගමය යන සංවිධාන වේ.

තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර සහ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා ද මෙහිදී අදහස් දැක්වූහ.

 

42.31%
17.27%
32.76%