May 1, 2023

අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ප්‍රගති වාර්තාවක් හඳුන්වාදීමට රජය සුදානම් වේ. ලබන මාසයේ සිට මෙම ප්‍රගති වාර්තාව හඳුන්වාදීමට ජනාධිපති කාර්යාලය සුදානමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම සහ අනෙකුත් නිර්ණායක මත පදනම්ව මෙහිදී ලේකම්වරුන්ගේ කාර්ය සාධනය නිරීක්ෂණය කෙරෙන බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු ප්‍රකාශ කර ඇත. මෙම පියවර, මහජනතාවගේ යහපත සඳහා ලේකම්වරුන් වෙත පැවරී ඇති කාර්යයන්හි ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීම සමීපව අධීක්ෂණය කරන ක්‍රමවේදයක් බවද ජනාධිපති කාර්යාල පෙන්වාදෙයි.

මෙම වැඩසටහන යටතේ 65 ට වැඩි ඉහළ ලකුණු ලබන ලේකම්වරුන් එම අමාත්‍යාංශයේම රඳවා තබා ගන්නා අතර 50 ත් 65 ත් අතර ලකුණු ලබන අයට ස්ථාන මාරු ලබාදීම සඳහා සලකා බලනු ලැබේ. ලකුණු 50 ට අඩු පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාල නිලධාරියා පවසයි. ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් ධූරය ද අහිමි විය හැකි අතර කොන්ත්‍රාත් පදනම මත සිටින අයගේ කොන්ත්‍රාත්තුව අවසන් විය හැකිය.

නිලධාරීන් පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සඳහා කාර්තුමය වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබේ. මෙම ක්‍රමය හඳුන්වාදීමේ පළමු පියවර ලෙස, ජනාධිපති කාර්යාලය විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

(Sunday Times)