January 23, 2024

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන මිනිස් ඝාතන නඩුවකට පෙනීසිටීමට යමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස්දෙනෙකු ඝාතනය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඊයේ (21) උදෑසන එල්ලවුණු වෙඩි ප්‍රහාරය ඩුබායිහි රැඳී සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කොස්ගොඩ සුජීගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට සැකකරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

කොස්ගොඩ සුජි සහ සමන් පෙරේරා අතර, කාලයක් තිස්සේ පාතාලයේ ගැටුමක් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවත් පොලිසිය සැකකරයි. අපේ ජනබල පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා ඇතුළු ඝාතනය වූ තිදෙනකුම 2022 වසරේ ජුනි 05 වෙනිදා තංගල්ල මොරකැටිආරේදී කුඩාවැල්ලේ අසේල නමැති අය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට පත්වූවන් බවත්, එක් අයෙක් ඩිෆෙන්ඩරයේ රියැදුරු බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඝාතනයට ලක්වූවන් අතර, මොරකැටිආරේ ඝාතකයා පළාගිය මෝටර් රථය ලබාදුන් ‘සුරතලා’ නමැති සැකකරුද, අපරාධකරුවන් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ දෙමටගොඩ පදිංචිකරුවෙක් ද සිටින බව සඳහන්ය. සුරතලා නමැති අය අපේ ජනබලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂයෙක් ලෙස පසුගිය මහා මැතිවරණයට තරග කර ඇති අයෙකි.

කුඩාවැල්ලේ අසේල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී ඊයේ ඝාතනය වූ සමන් පෙරේරා කුරුණෑගල වැල්ලව පාරේ පළමු පටුමඟේ පදිංචිකරුවෙකි. ඔහුගේ මහගෙදර පිහිටා ඇත්තේ කොස්ගොඩය. ඝාතනය වන විට ඔහු පසුවූයේ 47 හැවිරිදි වියේය.

සමන් පෙරේරා හැරුණු කොට ඝාතනය වූ සෙසු අය වන්නේ ගාලු පාර, පොල් වත්ත, වරාහේන , බෙන්තොට ලිපිනයේ පදිංචි 33 හැවිරිදි ඉලේකුට්ටිගේ සමීර මදුශංක (සුරතලා), පාසල අසල, ගල්බඩ, ඉඳුරුව ලිපිනයේ පදිංචි 40 හැවිරිදි කුමාර විදාරනලාගේ හසිත චන්සුක, ගැට්ටුවාන පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි 36 හැවිරිදි බයියාදුරයලාගේ බුද්ධික රාජපක්ෂ හා නිවාස, ආරාමය පාර, දෙමටගොඩ, කොළඹ ලිපිනයේ පදිංචි 43 හැවිරිදි කන්නන්ගර කෝරාලලාගේ නලීන් චම්පික ජයතිලක නමැති අයයි.

අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෙම පිරිස ගමන් කළ ඩිෆෙන්ඩරය බෙලිඅත්ත අන්තර් හුවමාරුවෙන් පිටව වලස්මුල්ල – බෙලිඅත්ත මාර්ගයේ මීටර් 600ක් වත් ගමන් කිරීමට අවස්ථාව ලැබී නැත. අධිවේගී මාර්ගයෙන් ඩිපෙන්ඩරය පිටතට ධාවනය කරනවාත් සමඟ ඉන්ටර්කූලර් වර්ගයේ ජීප් රථයක නැඟී මෙම ඩිෆෙන්ඩරය පැමිණෙන තුරු මානබලමින් සිටි තුවක්කුකරුවන් මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ, ඩිෆෙන්ඩරය හඹාගෙන විත්, බෙලිඅත්ත පොලිස් වසමේ පිහිටි කහවත්ත පාලම ආසන්න ප්‍රදේශයේ පිහිටි රාමසිංහ ෆුඩ්සිටිය ඉදිරිපිටදීය.

මෙම වෙඩි තැබීම කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් කළා යැයි මුලින් පොලිසිය සැකකර තිබිණි. එම සැකයට මුල්වී තිබුණේ එම කැබ් රථය ඩිෆෙන්ඩරය පිටුපසින්ම අධිවේගී පිටවුමේ සිට ගමන්කර ඇති බැවිනි. ඒ ගැන කළ වැඩිදුරටත් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඉන්ටර්කූලර් ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවය.

මෙම ප්‍රහාරය එල්ලවන්නේ උදෑසන 8.30ත් 8.40ත් අතර කාලය තුළදීය. කඹුරුපිටියේ සිට පැමිණි වෙඩික්කරුවන් රැගත් වාහනය වෙඩි තැබීමෙන් පසු යළි කඹුරුපිටිය දෙසටම ගමන් කළ බව ඇසින් දුටුවෝ පවසති. සමන් පෙරේරා ඇතුළු පිරිස උදෑසන ආහාරය ලබාගැනීමට මාර්ගය අසල පිහිටි වෙළඳ සැලක් අසල ඩිෆෙන්ඩරය නතර කර එහි සිටි අය වාහනයෙන් බසින අවස්ථාවේදී ඩිෆෙන්ඩරය හඹා පැමිණි ඉන්ටර්කූලර් රථය ඒ අසල නතරකර ඇති බව පොලිසිය කියයි. අනතුරුව එම රථයෙන් බැස ගත් ටී 56 අවි අමෝරාගත් ටීෂර්ට්වලින් සැරසී සිටි දෙදෙනෙකු ඩිෆෙන්ඩර්යේ සිටි පිරිසට එක දිගට වෙඩි වර්ෂාවක් එල්ලකර ඇති බව විමර්ශනයේදී පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ඩිෆෙන්ඩරයේ රැඳී සිටි පිරිස සිය ජීවිත බේරා ගැනීමට හිස් ලූ අත දිවයන විට එක් වෙඩික්කරුවෙක් ඔවුන්ව පන්නා යමින් වෙඩි තබා ඇත. ඒ අතර ඩිපෙන්ඩරයේ රියැදුරු බියට පත්ව රථය පණගන්වාගෙන එම ස්ථානයෙන් පළායෑමට සූදානම් වූ අවස්ථාවේදී ටී 56 අවිය අමෝරාගෙන සිටි අනෙත් වෙඩික්කරු රියැදුරාට වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි.

වෙඩික්කරුවන් මෙම ප්‍රහාරය එල්ලකර ඇති ආකාරයට අනුව ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඔවුන් මනා පුහුණුව ලැබූවෙක් බව පෙනීයන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. බොහෝ විට වෙඩික්කරුවන් හමුදා සේවයේ සිටි හෝ සිටින අය විය හැකි බවට සැකයක් ද මතුවන බව එම නිලධාරියා කීය. ඇතැම් විට ඔවුන් කුලී ඝාතකයන් ලෙස කටයුතු කරන්නන් විය හැකි බව ද සැකයක් ද මතු වී ඇත. කොස්ගොඩ සුජී එල්ටීටීඊ හිටපු වෙඩික්කරුවන් සමඟද ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ අයකු වන බැවින් එම වෙඩික්කරුවන් කුලී ඝාතකයින් ලෙස යොදාගත් බව මීට පෙර කළ විමර්ශනවලදී හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන්ද මෙහිදි විශේෂ අවධානයක් යොමුකර තිබේ.

මෙම ප්‍රහාරයට පැමිණි පිරිස පැහැදිලිවම මෙතෙක් අනාවරණය වී නැත. එහෙත් අවම වශයෙන් ඊට තිදෙනකු පැමිණ තිබේ. ඒ වෙඩික්කරුවන් දෙදෙනා සහ ඔවුන් පැමිණි ඉන්ටර්කූලර් රථයේ රියැදුරු ද සමඟිනි. එම රථයේ තවත් අය සිටියේදැයි පැහැදිලි නැති බව ද පොලිසිය කියයි. වෙඩික්කරුවන්ගේ ඉලක්කය බොහෝ විට සමන් පෙරේරා බව පොලිසියේ විශ්වාසයයි. රථයේ සිටි පස්දෙනාම වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ සමන් පෙරේරා පැහැදිලිවම හඳුනාගෙන ප්‍රහාරය එල්ල කරනවා වෙනුවට පස්දෙනාටම එකවර ප්‍රහාරයක් එල්ලකර භීෂණයක් මතුකරලීම සඳහා විය හැකි බවට සැකයක් ද මතු වී ඇත.

වෙඩි කා මරුමුවට පත්වූ අයෙකුගේ සිරුර තිබී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ ස්ථානය ආසන්නයේ ඇති සුපිරි වෙළඳසැලක් තුළය. තවත් අයෙකුගේ සිරුර වැටී තිබී ඇත්තේ වෙළඳසැලේ එක් පැත්තක කොරිඩෝවේය. වෙඩි ප්‍රහාර එල්ලවන විට සමන් පෙරේරා ඇතුළු පිරිස ජීවිතය යදිමින් කෑමොර දෙමින් ඒ මේ අත දිවගොස් ඇතැයි ද විමර්ශනයේදී පෙනීගොස් තිබේ.

පොලිසිය පවසනුයේ සිව්දෙනෙක් එම ස්ථානයේදීමත්, එක් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුවත් මියගොස් ඇති බවය. ගිනිඅවි දෙකේම පතරොම් ගැබ් දෙකම අවසන් වන තුරු වෙඩිතබා ඇති බව විමර්ශනවලින් පෙනීගොස් ඇත. ඒ අනුව මෙම ස්ථානයේ වෙඩි 60ක් පමණ පත්තු වී ඇති බව පොලිසිය සැකකරයි.

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ද ඉදිරිපත් වී සිටියේය. ඉකුත් මහා මැතිවරණයට ද සමන් පෙරේරා නායකත්වය දරන අපේ ජනබල පක්ෂයෙන් අපේක්ෂකයන් සෑම දිස්ත්‍රික්කයකටම පාහේ ඉදිරිපත් කර තිබිණි. අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර, පාහියංගල ආනන්දසාගර යන හිමිවරු ඇතුළු රටේ ජනප්‍රිය හිමිවරු ඇතුළු පුද්ගලයෝ රැසක්ම අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටියහ.

තංගල්ල මොරකැටි ආරේ ඝාතනය සම්බන්ධයෙන් එම අපේක්ෂක ලැයිස්තුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ දෙදෙනෙක් ද තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අතර හරක් කටාගේ මස්සිනා ද සිටියේය. යුද හමුදාවේ විශේෂ බළකායේ පළාවිත් සිටි සෙබළකුට රුපියල් ලක්ෂ 05ක කොන්ත්‍රාත්තුවක් දෙමින් එම ඝාතනය කරවා තිබුණු බව විමර්ශනයේදී අනාවරණය වී තිබිණි.

තංගල්ල මොරකැටිආරේදී ඝාතනය වූ කුඩාවැල්ලේ අසේල නමැති අය හරක් කටාගේ මත්කුඩු මහා මුහුදේ හුවමාරු කරනු ලබන ප්‍රධානියාය. හරක් කටා ඩුබායි හි රැඳී සිටියදී ඇණවුම්කර මෙරටට එවා තිබුණු හෙරොයින් කිලෝ 280ක් සහ අයිස් කිලෝ 115ක් සමඟ පකිස්තානුවන් ගමන් කරමින් තිබුණු බහුදින යාත්‍රාවක් 2019 වසරේ දී නාවික හමුදාවට හසුවී තිබිණි. ඒත් සමගම හරක්කටාගේ මත්කුඩු මහා මුහුදේදී දිගින් දිගටම හසුවීමට පටන් ගැනීමත් සමඟ කුඩාවැල්ලේ අසේල සමඟ හරක්කටා වෛර බැඳගෙන සිටින අවස්ථාවකදී ඔහුගේ ඝාතනය සිදුව තිබිණි. එම ඝාතනය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ සමන් පෙරේරාට සම්බන්ධකම් පවත්වන පුද්ගලයන්ද ඊට සම්බන්ධ ඇති බවය. මෙහි ප්‍රධාන සැකකරුවකු සමන් පෙරේරා ඔහුගේ බිරිඳට අයත් කුරුණෑගල පිහිටි නිවසක සඟවාගෙන සිටි බවට තොරතුරු ද එකල කියැවිණි. කොස්ගොඩ පිහිටි සමන් පෙරේරාගේ මහ ගෙදරදී ඔහුව තංගල්ල පොලිසියේ නිලධාරීන් විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ 23 වෙනිදා අත්අඩංගුවට ගනු ලබන්නේ ඒ අනුවය. සිය ගෝලබාලයන් සමඟ සමන් පෙරේරා ඝාතනය වන්නේ එම නඩුව ඊයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ බැවින් ඊට පෙනී සිටීමට යමින් සිටියදීය. සමන් පෙරේරාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනීයන්නේ ඔහු සිය වෘත්තීය ජීවිතය සංචාරක මඟපෙන්වන්නකු ලෙස ආරම්භ කර ඇති බවය. වැල්ලේ කොල්ලෙක් වූ ඔහු ජර්මන් ජාතික කාන්තාවක් සමඟ ඇතිකරගත් සමීප සම්බන්ධකමක ප්‍රතිඵලයක් ලෙස ඉඳුරුවේ පිහිටි රෝයල් හෝටලයේ හිමිකරු බවට පත්ව ඇත. රෝයල් බීච් සමන් ලෙස ඔහුට නමක් පටබැඳෙන්නේ ඒත් සමඟිනි. පාතාල අපරාධකරුවන් සහ පොලිසියේත්, හමුදාවේත්, පොලිස් විශේෂ කාර්ය බළකායේත් විවිධ තරාතිරම්වල නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන් ද ඉතා සමීපව ඇසුරු කරමින් සිටි සමන් පෙරේරා ඇතැම් සිංහල අන්තවාදී සංවිධානවලට අරමුදල් සපයා ඇති බවට බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

සමන් පෙරේරා විවාහ වී සිටින්නේ කුරුණෑගල පදිංචිව සිටින වෛද්‍යවරියක් සමඟිනි. ඇය ප්‍රකෝටිපතිනියක් බවත් සමන් පෙරේරා කෝටිපතියෙක් වන්නේ එම විවාහයෙන් පසු බවත් පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

සමන් පෙරේරාගේ පාතාලයේ ප්‍රබල ප්‍රතිවාදියා වූයේ කොස්ගොඩ සුජීය. වරක් දෙවරක්ම කොස්ගොඩ පැත්තේදී සුජී සිය ගෝලයන් යොදා සමන් පෙරේරා ඝාතනය කිරීමට වෙඩි ප්‍රහාර එල්ලකර තිබිණි. ඒ එක් ප්‍රහාරයකින් විදේශිකයෙක් ද මියගොස් තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද බුද්ධි අංශද මෙම වෙඩි ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ සිට සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් විමර්ශන ආරම්භ කරනු ලැබීය.

ඝාතනයට ලක්වූ සමන් පෙරේරාගේ කුරුණැගල පිහිටි නිවස ඊයේ පස්වරැවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් පරික්ෂාවට ලක් කෙරිණ. පොලිස් සුනඛයන්ද යොදා ගෙන නිවෙස පරික්ෂා කළද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව උසස් නිලධාරියකු පැවසීය.

(දිනමිණ)