August 31, 2023

යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව එළැඹෙන සතියේදී නඩු පවරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන්ම එම ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් වූ බව පවසා රුපියල් බිලියන 10ක අලාභයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 22 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට එන්තරවාසියක්ද යවනු ලැබිය.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සඳහන් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළේ අවධානය ගැනීමට පොඩි ළමයින් සෙල්ලම් බඩු පොළොවේ ගහනවා වැනි ක්‍රියාවක් බැවින් එවන් දේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තේරුමක් නොමැති බවය.

එම නිසා ජනතා විමුක්ති පෙරමුණ ඇමැති ටිරාන් අලස් සමග සබඳතා ඇති බවටත් ඔහු සමග එක්ව යුරෝපයේ දුපතක මුදල් ආයෝජනය කර ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විජිත හේරත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.

එහෙත් ඊට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කළේ යුරෝපයේ මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව බවත් තමා කළේ එම ප්‍රකාශය තහවුරු කිරීම පමණක් බවත්ය.

එම නිසා අනුර කුමාර ගෙන ඇති පියවරට තමා ඉතාම කැමති බවත් කරුණාකර අධිකරණයකට ගොස් තමාට එරෙහිව එම නඩුව පවරන ලෙසත් කොළඹ පෙරේදා (29) පැවති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා පැවසිය.

එලෙස නඩු පැවරූ පසු අධිකරණයේදී අනුර කුමාර දිසානායක වාරිමාර්ග සහ කෘෂිකර්මාන්ත ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී වැව් දසදහසක් සාදන බව පවසා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන හදපු වැව් මොනවාදැයි ප්‍රශ්න කළ හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට සාගර කාරියවසම් චෝදනා කළද එවැන්නක් ප්‍රකාශයක් නොකළ බව දුමින්ද නාගමුව පැවසිය.

මේ අතර සියලුම මැති ඇමැතිවරුන් විවේචනය කරන අනුර කුමාර දිසානායක මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පමණක් විවේචනය නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පසුගියදා ප්‍රශ්න කර සිටියේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය 28 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වීය.

එහිදී ඇමැතිවරයා සඳහන් කළේ දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට දැනුම් දී තිබුණද මේ දක්වා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවය.

(අරුණ)