January 28, 2026

රජයේ කාර්යාලවල අල්ලස් තවමත් ගැඹුරින් මුල් බැස ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අනතුරු ඇඟවීය.

මහජනතවගේ නිශ්ශබ්දතාව සහ ප්‍රතිපත්තිගරුක නිලධාරීන් නොමැතිකම හේතුවෙන් දූෂණය වර්ධනය වන ආකාරය පිළිබඳ උදාහරණයක් ලෙස මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෑතකදී සිදු වූ සිදුවීමක් ඔහු පෙන්වාදෙයි.

මෑත කාලීන පරීක්ෂණයක් ගැන සඳහන් කරමින්, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ එක් ශාඛාවකින් පමණක් සතියක් තුළ එකතු කරන ලද අල්ලස් මුදල රුපියල් මිලියන 4.1 ක් පමණ වූ බව ඔහු පැවසීය.

බොහෝ පුරවැසියන් නිල කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය නම් අල්ලසක් ගෙවීම නොවැළැක්විය හැකි බව විශ්වාස කරන බවත්, එමඟින් දූෂණය සාමාන්‍යකරණය වන පරිසරයක් නිර්මාණය වන බවත් රංග දිසානායක පැවසීය.

“මෙම කාර්යාලවල අවශ්‍ය වන්නේ තමන්ව ආරක්ෂා කර ගැනීමට අල්ලස් ප්‍රතික්ෂේප කරන නිලධාරීන් පමණක් නොවේ. අපට අවශ්‍ය වන්නේ අල්ලස් හා දූෂණයට එරෙහිව නැගී සිටීමට සූදානම් පුද්ගලයන්, එය පහසු කාර්යයක් නොවුණත්” යැයි ඔහු පැවැසීය.

අල්ලස සහ දුෂණයට එරෙහිව නිහඬව සිටීමද භයානක බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.