January 21, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.

එහි මූලික සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීමේ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදුකරන ලද කැණීම්වලින් සොයාගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබේ.

පෙබරවාරි 04 වනදා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමකරවීමට නියමිත අතර එදින සිට හුණුපිටිය ගංගාරාම විහාස්ථානයේදී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව විවෘත වේ.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට වැඩමකරවන මෙහොතේ සිට නැවත ඉන්දියාවට වැඩමකරවීම දක්වා වූ කාලපරිච්ඡේදය තුළ අවශ්‍ය පහසුම් සැලසීම සහ එහිදී එක් එක් ආයතන වෙත පැවරි ඇති කාර්යයන් සහ ඊට අදාළ සැලසුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ, ශ්‍රී සර්වඥධාතු වන්දනාව සඳහා කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත්නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි. ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සඳහා ගංගාරම විහාරස්ථානය සුදානම් කර තිබෙන අන්දම පිළිබඳවද උන්වහන්සේ මෙහිදී අදහස් දැක්වූහ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මෙහිදී සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවාසී ජනතාවට හිමි වු ඓතිහාසික අවස්ථාවක් මෙන්ම රට තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමෙහිලා වූ වැඩපිළිවෙළහි සුවිශේෂී අවස්ථාවක් බවයි.