September 17, 2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බලපත්‍ර 56ක් නීති විරෝධී ලෙස නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා එළඹෙන සැප්තැම්බර් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙකු වන රේණුක පෙරේරා අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර 56ක් නිකුත් කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එලෙස නීති විරෝධී ලෙස නිකුත් කරන ලද බලපත්‍ර අතුරින් බලපත්‍ර 30ක් සැකකරුගේ කමිටුව වෙත වෙන්කරගෙන ඇති අතර, ඉතිරි බලපත්‍ර 26 තමාගේ අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයන් වෙත බෙදා දී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වයි.