July 9, 2025

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සහ ඉහළ පෙළේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධ බවට වාර්තා වන කුරුණෑගල රජයට අයත් ඉඩමක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තොරතුරු ඉදිරිපත් කිරීමට ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

කුරුණෑගල ප්‍රදේශයේ අක්කර දහසක ඉඩමක් අවභාවිත කිරීමට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක සහ ඔහුගේ බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක සම්බන්ධ බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් රණසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව ද අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, අදාළ ඉඩම ලබාදුන් ආකාරය සහ ඊට අදාළ අනෙකුත් අංශ ඇතුළුව අමාත්‍යාංශය මේ වන විට අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු සම්පාදනය කරමින් සිටින බවයි.

තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අමාත්‍යාංශයෙන් ලබාදුන් තොරතුරු බවත්, ඒ සඳහා අමතර තොරතුරු කිහිපයක් එකතුකළ යුතු බැවින් එම කටයුතුවලින් අනතුරුව අවශ්‍ය පරීක්ෂණ සඳහා එම තොරතුරු කට්ටලය අල්ලස් කොමිසම වෙත භාරදෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

අදාළ ඉඩම සාලින්ද දිසානායක නමැත්තාට බදු දී ඇති අතර, පසුව ඔහු එය ඇපයක් ලෙස යොදාගෙන පෞද්ගලික බැංකුවකින් ණයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

එතැන් සිට ණය නොගෙවා ඇති අතර, මංජුලා දිසානායකද මේ කාරණයට සම්බන්ධ වී සිටියි.

2000 සහ 2007 වසර වලදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු යටතේ (චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ අදාළ කාලවලදී ජනාධිපතිවරුන් ලෙස කටයුතු කර ඇත) පළමුව ඉඩමට අදාළ මාසික බදු දීමනාව අඩුකර එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට පියවර ගත් බව ද නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.