October 9, 2026

රට මූල්‍යමය වශයෙන් අසීරු තත්වයක පවතින මෙවැනි අවස්ථාවක ආයෝජන ඉතා වැදගත් බැවින් ආයෝජන රටින් පිටතට ගලායාම අතිශය භයානක තත්වයක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රට තුළ ඩොලරයේ වටිනාකමක් පවතින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් රටින් පිටවන ආයෝජන ඔස්සේ අදහස් ලබා ගත හැකි බවයි.

සුදුසු පරිසරයක් සහ මූල්‍යමය ශක්තිමත්භාවයක් මෙන්ම මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව සහ එම ක්ෂේත්‍රවල පවතින අස්ථාවරත්වය ආයෝජන අහිමිවීමට බලපාන මූලික සාධක බව ද රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු අවධාරණය කළේ උද්ධමනය අඩුවී ඇති බව අදාළ බලධාරී පර්ශව පවසන නමුත් රටේ ජනතාවට ඔවුන්ගේ එදිනෙදා වියදම් දරා ගැනීමට නොහැකි නම් ආර්ථිකයේ පවතින්නේ විජ්ජාවක් පමණක් බවයි.

ජනතාවට අවශ්‍ය වන්නේ බලධාරීන් ඉදිරිපත් කරන ගණිතමය අගයන් නොව මූලික අවශ්‍යතා හෝ සපුරා ගත හැකි ආර්ථික ක්‍රමයක් බව ද ඔහු ප්‍රකාශ කළේය.