August 27, 2026

ප්‍රතිව්‍යුහගත කළ ණය නැවත ගෙවීම ආරම්භ වීමත් සමඟ, 2028 වන විට ඩොලර් බිලියන 15.1ක සංචිත ඉලක්කයක් කරා ළඟා වීමට රජය දරන උත්සාහය ඉතා අභියෝගාත්මක දැඩි ගමනක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

දෙවන වරටත් රට ණය පැහැර හැරීමකට පත්වීම වැළැක්වීම සඳහා 18 වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන වෙත වහාම එළඹීමට සිදුවන ආකාරයේ දැඩි ගෙවුම් ශේෂ අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඩොලර් බිලියන 6.59ක සමස්ත නිල විදේශ සංචිත ප්‍රමාණයක් පවතින බව පෙනෙන්නට තිබුණද, චීන මහජන බැංකුව සමඟ ඇති කරගත් භාවිත කළ නොහැකි ඩොලර් බිලියන 1.4ක (යුවාන් බිලියන 10ක) විනිමය හුවමාරු පහසුකම සහ දේශීය වාණිජ බැංකු සමඟ සිදුකළ කෙටි කාලීන විනිමය හුවමාරු නිසා එම සංචිත ප්‍රමාණය කෘතිමව ඉහළ ගොස් ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

නමුත් කිසිදු බාධාවකින් තොරව භාවිත කළ හැකි ශුද්ධ ජාත්‍යන්තර සංචිත තවමත් පවතින්නේ ඩොලර් බිලියන ඍණ 1.268ක සෘණාත්මක මට්ටමක බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.