
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බියගන්වා 2020 වසරේ පැවති මහමැතිවරණයේ දී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමට අවශ්‍ය ලියවිලිවලට බලහත්කාරයෙන් අත්සන් ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු විමර්ශන පවත්වති.
අතුරලියේ රතන හිමියෝ රැඳීසිටින රාජගිරියේ සඳහම් සෙවණ වෙත ද අවස්ථා කිහිපයකදීම ගොස් අත්අඩංගුවට ගැනීමට සොයාබලා ඇතත් එහි ද රතන හිමි නොමැති බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
මේ තත්ත්වය මත රතන හිමි සැඟවී සිටින්නේ යැයි අනුමාන කළ විහාරස්ථාන සහ භාවනා මධ්‍යස්ථාන මෙන්ම නිවාස සංකීර්ණ ද කොළඹ අපරාධ කොට්ඨාසයේ පරීක්ෂාවට ලක්ව තිබේ. එහෙත් ඒ කිසිදු ස්ථානයකට රතන හිමි පසුගිය දින කිහිපය තුළ පැමිණ නැති බව අනාවරණය වී ඇත.
සිය ජංගම දුරකතනය පවා අක්‍රිය කර සැඟවී සිටින අතුරලියේ රතන හිමියන්ට රටින් පළායාමට නොහැකි ආකාරයට ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස්කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් මෙම පැහැරගැනීමට ඇති බව පැමිණිල්ලෙහි සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ගෙන් සහ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ තොරතුරු සඳහන් කළේය.
මේ අතරින් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට බොහෝ ඉඩකඩ තිබෙන බව පොලිස් මූලස්ථානය තොරතුරු සඳහන් කළේය.
මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අතුරලියේ රතන හිමියන්ට ලබාදීමට අවශ්‍ය ලේඛනවලට අත්සන් තැබීමට බලකිරීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ තොරතුරු අනාවරණය කළේය.
වසර 05කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පළමු සැකකරු අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 20 වැනිදාය. වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන සිර කර තබාගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය. කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවකු වන එක් සැකකරුවෙක් අවුරුදු 35ක් වයසැති අයෙකි. මෙම සැකකරු කටුවන නන්දසීහ හිමි නමින් පැවිදි වී සිටි අයෙක් බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙන අයකුට දීමට මැතිවරණ කොමිසමට ලබාදීමට අවශ්‍ය ලේඛනවලට තමා අත්සන් නොකළේ නම් ඝාතනය කිරීමට සූදානමක් තිබූ බව ද වේදිනිගම විමලතිස්ස හිමියෝ පොලීසියට පවසා තිබුණහ. එම ඝාතනයේ චෝදනාව පක්ෂයේ නායකයා වන සමන් පෙරේරා විසින් කළ බවට චෝදනා කිරීමට ද සැලසුමක් තිබුණු බව උන්වහන්සේ පවසා තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන දුරකතන ජාල විශ්ලේෂණයක දී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේ සිටම අතුරලියේ රතන හිමි සැකකරුවන් සමඟ දුරකතනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවය.
මෙම පැහැරගැනීම සිදුවන විට පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටියේ සී.ඩී. වික්රමරත්නය. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාරදෙන්නේ ඔහු විසිනි. එම අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් එකල සිටි පොලිස්පතිවරයාටත් ඉහළන් යමින් එම විමර්ශනය යටගැසීමට කටයුතු කර තිබුණු බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
අපේ ජනබල පක්ෂයේ නායකයා බව සඳහන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 වැනිදා අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය විය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart