December 14, 2025

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සම්බන්ධ රිය අනතුර අවස්ථාවේ දී ශ්වසන පරීක්ෂණයක් සිදු නොකිරීම හෝ සම්මත ක්‍රියාපටිපාටියට අනුකූලව අධිකරණ වෛද්‍ය නිලධාරියකු (JMO) වෙත සැකකරු ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් ඊයේ (13) තහවුරු කළේය.

තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසීය.

බ්‍රහස්පතින්දා (11) රාත්‍රියේ සපුගස්කන්ද, දෙනිමුල්ල ප්‍රදේශයේදී රන්වල ගමන් කළ ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

මෝටර් රථයේ ගමන් කළ වයස අවුරුදු 25ක කාන්තාවක්, ඇගේ මාස හයක ළදරුවා සහ ඇගේ 55 හැවිරිදි මව තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

පසුව ළදරුවා විශේෂිත ප්‍රතිකාර සඳහා ළමා රෝහලට මාරු කර යවා ඇත.

ගැටුමෙන් රන්වල ද තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

විමර්ශනයේ පියවරක් ලෙස ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් රෝහලට පැමිණ තිබිණි.

“සපුගස්කන්ද පොලිසියේ නිලධාරීන් ජාතික සෞඛ්‍ය රෝහලට ගිහින් තිබෙනවා, එහිදී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් මත්පැන් සඳහා පරීක්ෂණයක් සිදු නොකර ඒ වෙනුවට වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා තිබෙනවා.” යැයි සිදුවීම් අනුපිළිවෙළ පැහැදිලි කරමින් සහකාර පොලිස් අධිකාරී වූට්ලර් පැවසීය.

වාර්තාව තවමත් ලැබී නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පිළිගත්තේ අනතුර සිදු වූ ස්ථානයේ ශ්වසන පරීක්ෂණයක් සිදු කිරීමට හෝ සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කිරීමට කිසිදු විධිවිධානයක් සකසා නොමැති බවයි.

රන්වල සිකුරාදා (12) ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී විධිමත් ලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනා මතයි.

පසුව ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 200,000ක මුදල් ඇපයක් මත මුදා හරින ලදී.

ඔහු රෝහල්ගතව සිටියද, තවදුරටත් අත්අඩංගුවේ නොමැති බව පොලිසිය තහවුරු කළේය.

ක්ෂණික ශ්වසන පරීක්ෂණයක් නොමැති වීම සම්බන්ධයෙන් මහජන විවේචනවලට පිළිතුරු දෙමින්, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ ස්ථාපිත ක්‍රියාපටිපාටි අනුගමනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමක් සිදු කරන විට පොලිසියට ශ්වසන පරීක්ෂණයක් සිදුකිරීමට හෝ සැකකරු රෝහල්ගත කර ඇත්නම් රෝහලෙන් වෛද්‍ය තක්සේරුවක් ලබාගැනීමට අවශ්‍ය බව ඔහු පැවසීය.

“ක්‍රියාපටිපාටිය නම් පොලිසිය අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නම්, ඔවුන්ට ශ්වසන පරීක්ෂණය කරන්න ඕනේ, නැතිනම් ඔහු රෝහලට ඇතුළත් කළහොත්, ඔහු බීමත්ව සිටීද නැද්ද යන්න රෝහල විසින් තහවුරු කළ යුතුයි,” විජේපාල පැවසීය.

රන්වල පොලිස් ස්ථානයකට නොව කෙලින්ම රෝහලට ගෙන ගොස් ඇති බවත්, එබැවින් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කළේය.

“වාර්තාව ඉදිරිපත් කළ පසු, ඊළඟ පියවර අපි තීරණය කරනවා,” ඔහු පැවසීය.

රන්වලට වෙනත් ඕනෑම පුරවැසියකුට සමානව සැළකූ බවත්, දෙබිඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර නොමැති බවත් අමාත්‍ය විජේපාල තරයේ කියා සිටියේය.

“වෙනත් ඕනෑම සාමාන්‍ය පුද්ගලයකුට වගේ සියලු පියවර නිසි ලෙස අරගෙන තිබෙනවා. පෙර රජයන් මෙන් අපි හැංගිලා සෙල්ලම් කරන්නේ නැහැ. ඔහුට සාමාන්‍ය පුරවැසියකුට වගේ සළකලා තිබෙනවා. දෙබිඩි පිළිවෙතක් නැහැ. නීතිය සැමට සමානයි,” අමාත්‍යවරයා පැවසීය.

“මෙය දේශපාලනඥයකුට නුසුදුසු ලෙස ක්‍රියාකළ සුවිශේෂී සිදුවීමක් නෙවෙයි. දේශපාලනඥයන් කියන්නෙත් මිනිස්සු, මාර්ගයේ අනතුරු සිදු වනවා. සමහර විට එය නොවැළැක්විය හැකියි, නීතිය සැමට එක හා සමානව සළකනවා.”යැයි අමාත්‍යවරයා පැවසීය.

අනතුර පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව සහකාර පොලිස් අධිකාරී වූට්ලර් පැවසීය.

වෛද්‍ය වාර්තාව ලැබුණු පසු සහ පොලිසියේ අඩුපාඩුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණය අවසන් වූ පසු වැඩිදුර තොරතුරුඅපේක්ෂා කෙරේ.