
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 22 සිකුරාදා අත්අඩංගුවට ගනු ලැබිණි. ඉන්පසු කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අගෝස්තු 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මේ කතාවේ පදනම වූයේ හිටපු ජනාධිපතිවරයා විසින් අවභාවිත වූ විදෙස් සංචාරයන්ය. අත්අඩංගුවට ගත් කතාවට යෑමට පෙර ගෝඨාභය රාජපක්ෂගෙන් ලද අනුප්‍රාප්තික ජනාධිපති ධුර කාලයේදී ඔහු ගිය විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිව යුතුය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලාශ්‍රවලට අනුව 2022 වසරේ ජූලි 20 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 දින දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලයේදී ඔහු විදෙස් සංචාර 23කට සහභාගි වී ඇත. ඒ සඳහා ගිය වියදම් වෙන්-වෙන් වශයෙන් මෙසේ දැක්විය හැකිය.
2022 – රු. 129,316,753
2023 – රු. 577,964,372
2024 – රු. 300,065,855
2025 මැයි 08 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මේ වියදම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ද කරුණු රැසක් ඉදිරිපත් කළේය. ඇමැතිවරයා ඉදිරිපත් කළ කරුණුවලට අනුව 2022 වසරේදී රනිල් වික්‍රමසිංහ සංචාර 4කටත්, 2023 වසරේදී සංචාර 14කටත්, 2024 වසරේදී සංචාර 5කටත් සහභාගි වී තිබේ. මේ සමස්ත සංචාර සඳහා වැයවී ඇති රජයේ මුදල් ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවයි.
රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ජනාධිපති ධුරය දැරූ කාලයේදී ඔහුගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යෑමේ සිදුවීමක් සම්බන්ධයෙනි. 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර තිබිණි. මේ සංචාරයට රනිල් වික්‍රමසිංහ සමඟ පුද්ගලයන් දසදෙනකු සහභාගි වී තිබිණි. මේ සම්බන්ධයෙන් මීට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලයේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
බංකොලොත් රටක රනිල්
රනිල් වික්‍රමසිංහ මේ සියලු වියදම් කරන ලද්දේ 2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත්කර ඇති පසුබිමක බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තේ දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගොස් රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ මුල්ම ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙසේ පැවසීය.
‘2025 මාර්තු 17 වැනිදා කුරුණෑගල පදිංචි වී. එස්. කරුණාතිලක නමැති පුද්ගලයෙක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් කර තිබෙනවා. 2023 සැප්තැම්බර් 22 සහ 23 දිනවල නිල සංචාරයක් බව කියමින් සිදු කළ පෞද්ගලික සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අනුවයි, සැකකාර හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2025 මැයි 23 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අභ්‍යන්තර විමර්ශනයක් කළා මේ ගැන. ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළා. විමර්ශනයට අදාළව සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව මේ රටේ අටවැනි විධායක ජනාධිපති සැකකරුවෙක් කරන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා.
2023 සැප්තැම්බර් 13 සිට 20 දක්වා අමෙරිකාවේ නිල සංචාරයකට ආරාධනයක් මත හිටපු ජනාධිපතිවරයා යනවා. ඒ සමඟ දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කණ්ඩායමට ජනාධිපතිට සම්බන්ධ නිලධාරීන් හයක් සහ පොලිසියේ හතරක් එක්ව තිබෙනවා. ලන්ඩන් නුවර වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා මේ අතර සම්බන්ධ වී තිබෙනවා. ඒ ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියට ගෞරව උපාධියක් ලැබෙන අවස්ථාවක්. එහිදී ලන්ඩනයේ රැඳී සිටි දින දෙක ගැන විමර්ශන සිදු කළා. සැප්තැම්බර් 22 සහ 23 යන දින දෙකට පමණක් රුපියල් ලක්ෂ 166ක් වියදම් කර තිබෙනවා.
2023 අගෝස්තු 16 දින විදේශ කටයුතු අමාත්‍යාංශයට පෞද්ගලික සංචාරයක් සඳහා යෑමට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා. ඒත් මුල් ලේඛනය මඟින් මෙය ‘ප්‍රයිවට්‘ සංචාරයක් බවට කියා තිබෙනවා.
ප්‍රධාන සන්ධාන නිලධාරියාට විදේශ කටයුතු ලේකම්වරයා එවන ලේඛනයේ private කියලා නිල් පාටින් රවුම් කරලා තියෙනවා. සැප්තැම්බර් 06 වැනිදා ලේඛනය ‘විසිට්‘ කියල එනවා. හිටපු ජනාධිපති ලේකම් ඒකනායක මහතාගේ ලේඛනය සැප්තැම්බර් හත්වැනිදා නිර්දේශ කරනවා ගමනට යන පිරිසට අරමුදල් යවන බව. අගෝස්තු දාසයේ ඉඳන් සැප්තැම්බර් හත වෙනකොට private සංචාර නිකම්ම විසිට් වෙනවා. ඔක්තෝබර් 23 වැනිදා ඉඳන් දෙසැම්බර් 10 වැනිදා අතර කාලය තුළ මේ ලේඛනවල ‘ඔෆීෂියල් විසිට්‘ වෙනවා. ගිහින් ආවට පස්සෙ මේවා වෙන්නෙ. කවුද මේක සංශෝධනය කළේ.
දින එකහමාරක කාලයකට ලක්ෂ හතළිස් පහයි. ආහාරපාන සඳහා ලක්ෂ තුනක්. තැන් සඳහා ලක්ෂ තිස්හතරක්. හෝටල් වෙන්කිරීම් සඳහා, වාහන කුලී සඳහා ලක්ෂ දහතුනක්. අමුත්තන්ගේ පරිහරණයට පවුම් හයදාහක්. එය ලංකා මුදලින් ලක්ෂ විසි හතක්. ‘වීඅයිපී‘ අයට ‘රිෆ්‍රෙෂ්‘ වෙන්න කියලා වෙනම මුදල් වෙන්කරලා. වාහන සඳහා ලක්ෂ 46ක්. ලන්ඩන්වලයි සැම්සන් විශ්වවිද්‍යාලය තියෙන්නේ. කිලෝමීටර් දෙසිය හයක් ඈතින්. යන්න එන්නම විතරක් කිලෝමීටර් හාරසීයක්. දවස් එකහමාරටම කෑම බීමවලට අවම හාරදාස් පන්සීයක්. ආවතේවකරුවට පවුම් දෙදාහක්. සිම්පතකට පවුම් දෙසීයක්. මල්ට්ස් හැම්ප්ටන් කාමර දෙකක් අරගෙන තියෙනවා. විශ්වවිද්‍යාලයට යන්නෙ විනාඩි පහයි. මෙතැන ඉන්නෙ නැතුව ලන්ඩන්වල ඉඳලා කිලෝමීටර් ගාණක් දුර ඇවිත් තියෙනවා.
රාජ්‍ය නායකයා විතරක් නෙවෙයි. පොලිසියේ හතරකුත් ඉන්නවා. අනියම් දීමනා ලක්ෂ එකොළහක්. 2023 වසරේ තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක ඩොලර් එකක් හොයාගන්න තිබුණෙ නැහැනෙ.
පොලිස් නිලධාරියකුට දවස් හතකට ලක්ෂ හැට අටක් ගෙවලා ටිකට්වලට. උණුසුම් ඇඳුම් සඳහා මුදල් වැයකරලා. වීසාවලට ලක්ෂ 11ක්. නිලධාරීන් දෙන්නෙක් පෞද්ගලික සංචාරයේ ආරක්ෂාවට ගිහින්. ලන්ඩන් හෝටලේ ඉඳලා තියෙන ලෑන්ඩ් මාක් හෝටලේ හිටපු ආර්යවංශ කියන නිලධාරියාගේ ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා එළියට ඇවිත්වත් නෑ කියලා තිබෙනවා. උපාධි උත්සවයට පමණක් එළියට ඇවිත් තියෙනවා කියලා පවසා තිබෙන්නෙ. ඒ කියන්නෙ ඉතා පැහැදිලියි කිසිම හමුවීමක් සිදුකරලා නෑ. නිල රාජ්‍ය නායක හමුවකටවත් ගිහින් නෑ.
නිල ඡායාරූප ශිල්පියා ගෙනියලත් නෑ. ඒ කියන්නේ මේක නිල සංචාරයක් නෙවෙයි. හිටපු ජනාධිපති ලේකම්වරයා මේ සිද්ධියේ ප්‍රධානම සැකකරු. ඔහු තමයි ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා.
ඩියර් රනිල්
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අධිකරණයේදී මෙසේ පැවසීය.
‘ඔය කියන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවෙන් මේ වගඋත්තරකරු නිදොස් කළා. නඩුවේ පැමිණිලිකරු ජනාධිපති ලේකම්වරයා. එයින්ම තේරුම් ගන්න පුළුවන් මේ නඩුවේ අරමුණ. රටේ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් මේ සම්බන්ධයෙන් කිසිම කරුණක් අනාවරණය වෙලා නැහැ. නමුත් මෙයාලා අභ්‍යන්තර විගණනයක් කරනවා. ඒක කරල තියෙන්නෙ ජනාධිපති ලේකම්ගේ හෝ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මතයි. මේ පැමිණිල්ල කරලා තියෙන්නේත් එහෙමයි. ජනාධිපතිවරයෙක් රැකබලා ගන්න එක රාජ්‍ය වගකීමක්. රටේ ජනාධිපතිලා ගොඩක් ඉඳලා තියෙනවා. සමහර විශ්වවිද්‍යාලවලින් ජනාධිපතිවරුන්ට ආරාධනා කරලා තියෙනවා. සමහර අයට එහෙම කරන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් රටේ වැදගත්ම අයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ ලිපියෙ තිබුණේ ‘මිස්ටර් ප්‍රසිඩන්ට්‘ කියලා. ‘ඩියර් රනිල්‘ කියලා නෙවෙයි.
තීන්දුව
මෙහිදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙසේ පැවසුවාය.
‘පෞද්ගලික විදේශ සංචාරය සම්බන්ධයෙන් පොදු දේපළ පනත සහ දණඩ නීති සංග්‍රහය යටතේ සැකකරු වැරදි කර ඇති බවට සැකකරු ඉදිරිපත් කරමින් පැමිණිල්ල කරුණු දක්වා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සැකකරු 2023 වසරේ සිදු කර ඇති රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රජයේ අභ්‍යන්තර විගණන පාලන විජිත රෝහණ පරණගම විසින් ඉදිරිපත් කර ඇති අභ්‍යන්තර විගණනයේ කරුණු දක්වා ඇත.
එම විදේශ සංචාරයට අදාළ ජනාධිපති වැය ශීර්ෂයේ මුදල් රුපියල් ලක්ෂ 133ක් දරා ඇති බවත් ඔහුගේ සහ ඔහුගේ බිරියගේ , පෞද්ගලික ලේකම්වරියගේ ඇතුළු පිරිසගේ වියදම් ජනාධිපති වැය ශීර්ෂය මගින් ගෙවා ඇති බව හෙළී වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් සහ ශ්‍රී ලංකා පොලිසිය සහ නාවික හමුදාවේ මුදල් භාවිත කර ඇති බවට හෙළි වී ඇත. ඒවා රජයේ මුදල් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත. එය පෞද්ගලික සංචාරයක් බවටත් ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරියට ලැබුණු ආරාධනාවක් බවට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලේඛනය මින් පෙර සාක්ෂි ලබා දුන් 38 දෙනාගෙන් එක් අයකු හෝ ඉදිරිපත් කර නැත. මුල් අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් බවටත් දෙවැනි අවස්ථාවේ සංචාරයක් බවටත් සංචාරයෙන් පසුව එය නිල සංචාරයක් බවටත් කරුණු දක්වා ඇති එම සංචාරය නිළ සංචාරයක් වූයේ නම් එම ලේඛනයේ පුද්ගලික සංචාරයක් බවට දැක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති අතිශය රහසිගත ලිපියෙහිද ශානිකා ඒකනායක අතිරේක ලේකම්වරිය පෞද්ගලික සංචාරයක් බව දක්වා ඇත.
ඒ සඳහා වැය වන මුදල් සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් දක්වා ඇත. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ෆැක්ස් පණිවිඩයේද එය පෞද්ගලික සංචාරයක් බවට දක්වා ඇත. අද ඉදිරිපත් කරන ලද ලිපිය මාස තුනක කාලයක් ඉක්ම යනතෙක් හිටපු ජනාධිපතිවරයාට , හිටපු ලේකම්වරයාට හෝ පුද්ගලික ලේකම්වරියට නොහැකි වී ඇත. එය සකස් කරගත් ලිපියක් බවට පැමිණිල්ල විසින් කරුණු දැක්වීමේදී ප්‍රකාශ කර ඇත. එසේම මෙම ලිපිය අද දින ඉදිරිපත් කරමින් කරුණු දක්වා ඇත්තේ පැමිණීල්ල දුර්වල නඩුවක් බවට පත් කරලීම වුවද ඇප අයැදීමකදී සලකා බැලිය යුතු කරුණු නඩු තීන්දු රැසක් මඟින් දක්වා ඇත.
මේ නඩුවේ එවැනි කරුණු අසාමාන්‍ය කරුණු ලෙස සැලකිය නොහැකිය. ඇප සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදන සලකා බැලිමේදී එම කරුණු සුවිශේෂී කරුණු විය යුතුය. මේ අනුව සැකකරු සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වන වරදක් සංස්ථාපනය වී තිබේ. ඇප ලබා ගැනීමට නම් ඔහු විසින් සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතුය. සැකකරු 8 වන විධායක ජනාධිපති බවත් ආරක්ෂාවට නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් ගෙවූ මුදල් රජයේ මුදල් අවභාවිතයක් වශයෙන් නොගැනෙන බවට සැකකරු වෙනුවෙන් කරුණු දක්වා ඇත. සැකකරු හෘද රෝගියෙක් බවත්, දියවැඩියා රෝගියෙක් බවත් අධි රුධිර පීඩනයෙන් පෙලෙන බවටත් කරුණු දක්වා ඇත එසේම සැකකරුගේ බිරිය පිළිකා රෝගයකින් පෙළාන බවටත් ආතරයිටිස් තත්වයක් ඇති බවටත් කරුණු දක්වා ඇත. නීතිය ඉදිරියේ සැවොම එක හා සමාන ආකාරයෙන් සැලකිය යුතු බවට නීතියෙන් දක්වා ඇත. ඒ අනුව එකී රෝග තත්ත්වයන් සුවිශේෂි තත්ත්වයන් ලෙස සලකා බැලිය නොහැකිය. සැකකරු අද දින ඉදිරිපත් කර ඇති ලිපියේ නිරවද්‍යභාවය පරීක්ෂා කර නැත. එකී ලිපිය සකස් කළ ලිපියක්ද යන්න විමර්ශනය කර නැත. ජාතික විගණන වාර්තාව පොදුවේ ඉදිරිපත් කළ එකක් බවට කරුණු දක්වා ඇත.
සැකකරුගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නිශ්චිත ලිපි ඉදිරිපත් කර නැත. ඒ සම්බන්ධයෙන් නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස සැකකරුට නියෝග කරමි. සැකකරුට ඇප නියම කිරීමට සුවිශේෂි හේතු ඉදිරිපත් කර නැත. එබැවින් ලබන 26 තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමි. සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සහ වෛද්‍ය පහසුකම් ලබා දෙන ලෙස බන්ධනාගාරයට නියම කරමි. එසේම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කරමි.‘
(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart