August 13, 2026

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය තුළම ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ඊශ්‍රායල් රැකියා ජාවාරමක් වටළා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගැනීමට බලධාරීන් සමත් වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් ඊශ්‍රායලයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ගිවිසුම් සකස් කරමින් සිටියදී මෙලෙස හසු වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අදාළ සැකකරුවන් විසින් රැකියා අපේක්ෂකයන් කාර්යාංශ පරිශ්‍රයටම කැඳවාගෙන ඇවිත් මෙම හොර ගිවිසුම් නිකුත් කිරීමට උත්සාහ කර ඇති බවයි.

කාර්යාංශ ගොඩනැගිල්ලේ පළමු මහලේදී මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අවස්ථාවේදී ඔවුන් ළඟ තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක් සහ සකස් කරන ලද ව්‍යාජ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් ඇතුළු ලේඛන ගණනාවක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම ජාවාරමට කාර්යාංශයේ අභ්‍යන්තර පාර්ශවවල සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.