March 8, 2025

ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් (e-NIC) වෙත ප්‍රවේශවීමේ පියවර ශ්‍රී ලංකා රජය වේගවත් කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මාස 18 තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමේ ඉලක්කයක් ඇතිව කටයුතු ක්‍රියාත්මක බව දැනගන්නට තිබේ.

දශකයකට වැඩි කාලයක් තිස්සේ මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පැවතුනද දත්ත රහස්‍යතාව, ආරක්ෂක ගැටලු සහ ක්‍රියාපටිපාටි ප්‍රමාදයන් හේතුවෙන් ව්‍යාපෘතිය කිහිප වතාවක් ප්‍රමාද වී ඇත.

ඩිජිටල්හැඳුනුම්පත් ක්‍රියාත්මක කිරීම ලබන වසරේ මැද භාගයේදී ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ෆින්ලන්ත සමාගමකින් කාඩ්පත් මිලියන 2.3ක් සඳහා මූලික ඇණවුමක් සහිතව අවශ්‍ය කාඩ්පත් ලබාගෙන ඇත.

හඳුනාගැනීම තහවුරු කිරීමේ වැඩි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා විද්‍යුත් හැඳුනුම්පත්වල ඇඟිලි සලකුණු සහ මුහුණු හඳුනාගැනීමේ විස්තර වැනි ජෛවමිතික විශේෂාංග ඇතුළත් වේ.

අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් ප්‍රවර්ධනය කරන ලද අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන මෙම ව්‍යාපෘතියට ඉන්දියාව රුපියල් මිලියන 450ක ප්‍රදානයක් ලබා දී ඇත.

ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික නියෝජනයක් සහිත ඒකාබද්ධ ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් ස්ථාපිත කර තිබේ.

2012 සිට ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පතක් පිළිබඳ අදහස සාකච්ඡාවට බඳුන් වුවද ව්‍යාපෘතිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම සිදු කළේ 2017 දී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව අයදුම්කරුවන් සහ ජාතික හැඳුනුම්පත අලුත් කිරීම සඳහා නියමු වැඩසටහනක් දියත් කළ විට පමණි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, සියලුම ජෛවමිතික දත්ත රැස් කිරීම සහ ගබඩා කිරීම ශ්‍රී ලංකා බලධාරීන් විසින් පමණක් හසුරුවන බව සහතික කර තිබේ.

කිසිදු විදේශීය ආයතනයකට පුරවැසියන්ගේ දත්ත වෙත ප්‍රවේශය නොමැති බවත්, ඉන්දියානු ප්‍රදානය අවශ්‍ය දෘඩාංග සැකසීම සහ විවෘත මෘදුකාංග අවශ්‍ය පරිදි වෙනස් කිරීම සඳහා පමණක් භාවිත කරන බවත් ඔහු අවධාරණය කළේය.

පද්ධතිය ක්‍රියාත්මක වන විට, සම්පූර්ණ පාලනය ශ්‍රී ලංකා රජය යටතේ පවතිනු ඇත.

දත්ත සම්බන්ධයෙන් පවතින ආරක්ෂක බියට පිළියමක් ලෙස පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම, සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ අනවසර භාවිතය වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කරමින් පවතින බව ආචාර්ය විජේසූරිය අනාවරණ කළේය.

ශ්‍රී ලාංකිකයන් දැනටමත් විදේශ ගමන් බලපත්‍ර සහ වීසා සඳහා ජෛවමිතික තොරතුරු සපයන බවත්, එබැවින් මෙය පවතින පද්ධතිවල සාමාන්‍ය දිගුවක් වනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

දත්ත රැස් කිරීම පහසු කිරීම සඳහා, රජය රට පුරා ජෛවමිතික ලියාපදිංචි කිරීමේ ස්ථාන 500-600ක් පිහිටුවන ඇත .

පසුකාලීනව එය ස්ථාන 2,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.