October 28, 2026

ඉංගිරියේදී ලංගම බස් එකට කළු තෙල් ගසා පහරදුන් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර අල්ලයි(වීඩියෝ)

ඉංගිරිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයකට කළු තෙල් ගසා එහි රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමිකරුවකු සහ කොන්දොස්තරවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවලට අනුව, හෝමාගම ඩිපෝවට අයත් කරඳන – හොරණ මාර්ගයේ ධාවනය වූ ලංගම බස් රථයක් ඉලක්ක කරගනිමින් ඊයේ (27) රාත්‍රියේ ඉංගිරිය කැටකෙරැල්ල ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් බස් රථය හරස් කර නතර කර ඇති අතර, බස් රථයේ ඉදිරිපස දොරෙන් රියදුරා දෙසට කළු තෙල් ගසා පසුව රියදුරාට සහ කොන්දොස්තරවරයාට පහර දී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලින් අනතුරුව, ඉංගිරිය පොලීසිය විසින් ප්‍රහාරයට සම්බන්ධ පෞද්ගලික බස් රථ හිමිකරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

ඉංගිරිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.