September 15, 2026

වැලිකඩ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑමට උත්සාහ කළ එම බන්ධනාගාරයේම සේවය කරන නියාමකවරයකු ඊයේ (14) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාර දී තිබේ.

ලද රහසිගත තොරතුරක් මත බන්ධනාගාර ප්‍රධාන දොරටුව අභියසදී සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී මෙම සැකකාර නියාමකවරයා කොටුකර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව ඇත.

ඔහු පැළඳ සිටි සපත්තු තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් සහ හෙරොයින් ග්‍රෑම් 16.7ක තොගයක් මෙහිදී සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමත් සමඟ බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ පවත්වා ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.