June 30, 2025

බන්ධනාගාර රෝහල්වල සේවය කරන වෛද්‍ය නිලධාරීන්ට එරෙහිව විධිමත් පැමිණිලි ඉදිරිපත් කළහොත්, ඔවුන්ට එරෙහිව පැමිණිලි විමර්ශනය කිරීමට තමන්ට බලය ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC ) පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙජිස්ට්‍රාර් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, 1980 අංක 26 දරන ආහාර පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) කරන ආකාරයට ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීමට සභාවට බලතල නොමැති වුවද, පැමිණිල්ලක් නිල වශයෙන් ගොනු කරන විට ස්ථාපිත ක්‍රියාවලියක් හරහා පරීක්ෂණ සිදු කරන බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනටමත් පැමිණිලි ගණනාවක් පිළිබඳ සොයා බලමින් සිටින බවත් නිසි මාර්ග හරහා ඉදිරිපත් කරන බරපතළ චෝදනා නොසළකා නොහරින බවත් ඔහු පැවසීය.

“ රෝහල්වල හෝ බන්ධනාගාරවල සේවය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුට එරෙහිව විෂමාචාර හෝ වැරදි සම්බන්ධයෙන් චෝදනා විධිමත් පැමිණිල්ලක් ලෙස ගොනු කළහොත්, මූලික පරීක්ෂණයක් හරහා පැමිණිල්ලට සාධාරණ පදනමක් තිබේද යන්න අපි පළමුව තක්සේරු කරනවා. එසේ නම්, කාරණය අපගේ වෘත්තීය හැසිරීම් කමිටුව වෙත යොමු කරනවා. වෘත්තීය හැසිරීම් කමිටුව අර්ධ අධිකරණ ක්‍රියාවලියක් අනුගමනය කරමින් චෝදනා ඉදිරිපත් කරනවා, පරීක්ෂණ පවත්වනවා, සහ විෂමාචාරයක් සොයාගතහොත් සුදුසු පියවර ගගන්නවා.”යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මෙම ප්‍රතිචාරය පළ වන්නේ, තම අධිකාරිය අනිසි ලෙස භාවිත කළ බවට සැක කෙරෙන බන්ධනාගාර රෝහල්වලට අනුබද්ධ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංගමය සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව මෑතකදී ඉල්ලා සිටීමෙන් පසුවය.

දේශපාලනඥයන් සහ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ඇතුළු රිමාන්ඩ් භාරයේ සිටින ඇතැම් පුද්ගලයන්ට විශේෂ ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාරවල සමහර වෛද්‍යවරුන් ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කර ඇති බවට චෝදනා තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු එහි ලියාපදිංචි සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විසින් අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්, විනය සහ සදාචාරාත්මක පිළිවෙත් පවත්වාගෙන යෑම සහතික කිරීම මගින් සෞඛ්‍ය සේවා ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.