April 9, 2025

රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වත්මන් රජයට හදිසි ප්‍රමුඛතා දෙකක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ඇය එහිදී පෙන්වාදුන්නේ පසුගිය වසරේ බලයට පත්වන විට ආණ්ඩුව පූර්ණ අවධානය යොමුකළේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ප්‍රමාද වූ මැතිවරණ පවත්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට බවයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම අදහස් පළකළේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

ඔහු එහිදී විමසා සිටියේ, ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ලද ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ ප්‍රතිඥාවක් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සිදුවන්නේ කවදාද යන්න පිළිබඳව සභාවට දන්වන ලෙසයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ නව ආණ්ඩුව මේ වන විට ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

පසුගිය මාස හය තුළ මැතිවරණ දෙකක් පවත්වා ඇති අතර, ලබන මාසයේ තවත් මැතිවරණයක් පැවැත්වෙන බව ඇය සඳහන් කළාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය කියාසිටියේ පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට නියමිත බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු රජය විසින් ආරම්භ කරන බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

මේ අතර, රජය මෙවර අයවැයෙන් එම ක්‍රියාවලිය සඳහා මුදල් වෙන්කර නොමැති බව ද ඇය එහිදී පිළිගත්තාය.

කෙසේවෙතත්, පසුගිය ආණ්ඩුව විසින් දැනටමත් ආරම්භ කර තිබූ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජන අදහස් විමසීමෙන් ඉදිරියට ගෙනයෑමට වත්මන් පාලනය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවැසීය.

එබැවින් සාධාරණ කාලසීමාවක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කටයුතු අවසන් කළ හැකි බව තමාගේ අදහස බවද ඇය සඳහන් කළාය.