January 27, 2026

ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් හයදෙනකු විසින් කතෝලික පූජකවරයකුට පහරදීම හෙළාදකිමින් පූජකවරු සහ කන්‍යා සොහොයුරියෝ අද මීගමුව මහනගර සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයේ නිරත පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් පහරදීම හෙළාදකින පුවරු අතැතිව සිටිනු දක්නට ලැබිණි.

මේ අතර, සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් හයදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

කොටදෙණියාවේ පල්ලිය විසින් පාලනය කරනු ලබන ගොවිපොළක සහකාර වතු කළමනාකරුවකු ලෙස සේවය කරන අදාළ පූජකවරයා, දිප්පිටිගොඩ පල්ලියේ දේව මෙහෙයකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී පහරදීමකට ලක්ව ඇත.

එම පූජකවරයා ඒ වන විට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අතර සම්පූර්ණ පූජක ඇඳුමින් සැරසී සිටි බව වාර්තා වේ.

සැකකරුවන් පූජකවරයාට පහර දී පාර අයිනේ දමා ගිය බව කියනු ලැබේ.

පසුව පූජකවරයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට නියමිත ජනවාරි 29 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.