June 4, 2023

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය වූ ඊයේ (03) දින සමුළුව අමතමිනි.

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ ඊයේ දින සමුළුව පැවැත්වුණු අතර එය අදින් (04) අවසන් වේ.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි. එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපැම ද ජනාධිපතිවරයා පැහැදිළි කර සිටියේය.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසීය. පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවු බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ නීති ක්ෂේත්‍රය, ප්‍රතිපත්ති සම්පාදකයන්, නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදයක් ආරම්භ කිරීමට මෙම සමුළුව මගින් අපේක්ෂා කරන බවයි. ජාතියක් ලෙස දියුණු වීමට නම්, නීති අංශය ව්‍යවසායකත්වයේ වැදගත්කමත්, ව්‍යවසායකයින් නීතියේ ආධිපත්‍යයේ වැදගත්කමත් හඳුනාගත යුතු බව ද සභාපතිවරයා පෙන්වාදුන්නේය.

නිදහසින් ගෙවි ගිය වසර 75 න් පසු දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් පළමු වරට අද රට හමුවේ තිබෙන බව පැවසූ ජාතික නීතිඥ සම්මේලනයේ සභාපති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කුරිරු යුද්ධය සහ වැරදි ආර්ථික කළමනාකරණය රටේ ප්‍රගතියට බාධාවක් වූ බවත් පැවසීය. එබැවින් දැන් සියලුදෙනාගේ වගකීම වන්නේ අතීත වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරි අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීම බව ද නීතිඥ ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් පැවසීය.