July 15, 2024

ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නීතීඥ අරුණ ලක්සිරි ගොනු කළ අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව 2024 ජූලි 31 දිනට පෙර පෙත්සම්කරු විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසටත් පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අධිකරණය නියෝග කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බවත්, එබැවින් එය නිසි පරිදි සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.

පෙත්සම්කරු කියා සිටියේ වසරක් ගත වූ පසු තේරී පත් වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට අහිමි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවයි.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කළද, එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොමැති බව පෙත්සම්කරු අවධාරණය කළේය.

මෙම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර ජනාධිපතිවරයා විසින් අත්සන් කර නොමැති බැවින් එය නීතියක් ලෙස සැළකීමට නොහැකි බව පෙත්සම්කරු පෙන්වා දුන්නේය.

එබැවින් 19 වැනි සංශෝධනය තවදුරටත් නීතියක් ලෙස පිළිගැනීම වැරදි බවට පෙත්සම්කරු තර්ක කර තිබිණි.