May 26, 2025

අධිකව විෂ දුම් පිටකරන වාහන පිළිබඳව සොයාබලා ඊට අදාළව විධිමත් පියවර ගැනීම සඳහා පොලිසිය විසින් CCTV කැමරා භාවිතය පිළිබඳ සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීමට දෙපාර්තමේන්තු කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ, තොරතුරු තාක්ෂණ කොමසාරිස්, වාහන විමෝචන භාර අරමුදලේ අධ්‍යක්ෂ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.

වාහන විෂ දුම නිසා ඇතිවන වන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා වාහන විමෝචන භාර අරමුදල දැනටමත් උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටීන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ, වාහන විමෝචන භාර අරමුදල වටිනා ජාතික වත්කමක් බවයි.

වාහන විෂ දුම කළමනාකරණය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ CCTV දත්ත භාවිත කිරීමට අමතරව, CCTV කැමරා පද්ධතිය නවීකරණය කිරීමට තවදුරටත් පුළුල් කිරීමට වාහන විමෝචන භාර අරමුදල ඔස්සේ පූර්ණ සහය ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.