April 30, 2024

දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම මත අල්ලාගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ අර්බුදයකට මුහුණපා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති.

වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස අක්කර භාගයක පමණ පෞද්ගලික ඉඩමක් අල්ලාගෙන කොන්ක්‍රීට් කණු සවිකර තිබෙන බව ද ඔවුහු පවසති.

එමෙන්ම නිවාඩු දිනවලදී බැකෝ යන්ත්‍ර යොදාගෙන එසේ අල්ලාගත් ඉඩමේ හෝටලයක් ඉදිකරනවාට අමතරව පස් හාරා නියරවල් දමා ගොවිතැන් කිරීම සඳහා බිම් සකසන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ වනවිට වසම භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරිය හරහා ගොවිජන සේවා නිලධාරින් දැනුවත් කර ඉදි කිරීම් තාවකාලිකව නවතන ලෙස ලිඛිතව එම ඉඩමේ හිමිකාරිනියට ලිඛිතව දන්වා තිබෙන බවත්, ඊට අමතරව ඉඩමට ඇතුළුවන ස්ථානයේ දැන්වීමක් අලවා ඇති බවත් ගොවීහු පෙන්වාදෙති.

මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලය ද බැකෝ යන්ත්‍රය යොදාගෙන මීට පෙර සූක්ෂම ලෙස අල්ලා ගත් වැව් තාවල්ල හාරා පස් ගොඩවල් ගසන බවටද ඔවුහු චෝදනා කරති.

විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිරන්තරයෙන් මෙම ඉඩමේ රැඳී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල මෙම කම්බි කණු පොලිසියට අයත් ජිප් රථවලින් රැගෙන ඒම සිදු කළ බව ඔවුහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහ.

ඔහු මෙම ඉඩමට පැමිණෙන අවස්ථාවල රථ වාහන පොලිසියේ නිලධාරීන් යතුරුපැදිවලින් ඉඩමට පැමිණෙන බවට ද චෝදනා කරති.

ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ගේ ඥාතී කාන්තාවක මෙම ඉඩම මිලදී ගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි.

තමන් කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන් යොදවා හෝ නීතිවිරෝධී කිසිදු ක්‍රියාවක් නොකළ බවත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද, මීට පෙර නිලධාරීන් සහ පොලිසිය මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුරට දිග්ගැස්සෙන්නේ නැති බවත් සඳහන් කළේය.

මෙම ඉඩමේ හිමිකාරිය බව කියන භද්‍රාරාම කුමාරිගෙන් විමසීමේදී කියාසිටියේ ඇය සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් මිලදීගෙන සංවර්ධන කටයුතු සිදුකරන බවය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති පරිදි ඇය ඉඩම් ඇල්ලීමක් හෝ වැට ගැසීමක් හෝ සිදුකර නැති බවත් තමන්ට හිමි ඉඩමේ වගාකිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දැමීම සිදු කළේ යැයි ද ඇය සඳහන් කළාය.

තමන්ට ඇති විවිධ බලපෑම් නිසා ඥාති වන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව, සහයෝගය ලබා ගත් බවත් ඔහු කිසිදු ආකාරයෙන් නීතිවිරෝධී ක්‍රියාවක් සිදු නොකළේ යැයි ද සඳහන් කළාය.

දඹුල්ල යාපාගම වැවේ සහ ඉස්මත්ත කිසියම් පිරිසක් අල්ලාගෙන ඇත්ද? එවැනි පැමිණිලි ලැබී තිබේද? ගත් ක්‍රියා මාර්ග කුමක්දැයි දඹුල්ලන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රදේශීය නිලධාරි සම්පත් කුමාරගෙන් වීමසීමේදී කියා සිටියේ මේ වන විටත් ඉඩම් ඇල්ලීම සහ වැටවල් ගැසීම තාවකාලිකව අත්හිටුවන ලෙස ලිඛිතව දැනුවත් කර ඇති බවය.

පරික්ෂණ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි හෙතෙම පැවැසීය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගෙන් කළ විමසීමේදී කියා සිටියේ යාපාගම වැව පමණක් නොව සළුඅපුල්ලන වැව, පහළ වැව ඇතුළු නගරයේ වැව් රැසක් විවිධ කණ්ඩායම් අත්පත් කරගෙන ඇති බවට තමන්ට වාර්තා වී තිබෙන බවය.(ලංකාදීප)