
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාලු මුවදොර අරගල භූමියේ ඇතුළු දිවයින පුරා පසුගිය වසරේ මැයි මස 09වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් “රයිට් ටු ලයිෆ්” සංවිධානය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාළ පෙත්සම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මතු කළ මූලික විරෝධතා පිළිගනිමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙම පෙත්සම අද(19) එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ මැයි මස 09වැනිදා පෙරවරුවේ ගාලු මුවදොර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පස්වරුවේ දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලිසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට චෝදනා කළේය.
එහිදී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මූලික විරෝධතාවක් මතුකරමින් කියාසිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම නිසි නීතිමය කාලසීමාව තුළ ඉදිරිපත් කර නොමැති බවයි.
නියමිත කාලය ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජේෂ්ඨ රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 10දෙනකු සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart