
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වවුනියාවේ තෝනිකල් ප්රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්රහාරයක් එල්ලකර යුවළක් මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසරක් පුරා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් හත්දෙනාට ඇප ලබාදීම වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් පෙරේදා (25) ප්රතික්ෂේප කළේය.
සිද්ධිය වූ නිවසේ 2023-07-23 වැනි දින උපන්දින සාදයක් පැවති අතර, ඊට සහභාගි වී සිටි අඹුසැමි යුවළක මරා දැමීමේ සිද්ධියට පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියි.
උපන් දින සාදයට සහභාගි වී සිටි අඹුසැමි යුවළේ කාන්තාව ඊට පෙර ග්‍රාම නිලධාරියකු සමඟ ඇසුරක් පවත්වා ඇති අතර, එය නතර කර වෙනත් අයෙකු සමඟ විවාහවීම නිසා ඇගෙන් පළිගැනීමට ග්‍රාම නිලධාරියා දුන් කොන්ත්රාත්තුවක් මත අඹුසැමි යුවළ ඝාතනයට ලක් වූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය.
මේ සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි සුගන්දන් සහ ෆාතිමා සසීමා නමැති අඹුසැමි යුවළයි. එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත්දෙනා දැනට වසරක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර, ඔවුන් අවස්ථා 9කදී වවුනියාව දිස්ත්‍රික් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කර ඇතත් ඔවුන්ට ඇප ලබා දී නොතිබිණි.
ඒ බව සඳහන් කරමින් සැකකරුවන් වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබූ අතර, එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතිඥ ආරුමුගම් ධනුසන් සහ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ඇප ලබාදීමට එරෙහිව කරුණු දැක්වූ නිසා වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබාදීම ප්රතික්ෂේප කර ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරමින් නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව පළමුවෙනි හා හත්වෙනි විත්තිකරුවන් දෙදෙනාගේ රිමාන්ඩ් කාලය නොවැම්බර් මස 1 වැනිදා දක්වාද ඉතිරි පස් දෙනාගේ රිමාන්ඩ් කාලය පෙබරවාරි මස 25 වැනි දින දක්වාද දීර්ඝ කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart