September 15, 2025

ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති 2025 ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ඉන්දීය කණ්ඩායම ප්‍රතිවාදීන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පාකිස්තාන කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් වෙත නිල පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ ‘ඔපරේෂන් සින්දූර්’ මෙහෙයුමෙන් පසුව තරඟය පැවැත්වීම ගැන ඉන්දියාවේ රසිකයන් සතුටු වූයේ නැත.

මෙම වසර මුලදී, කාශ්මීරයේ සිදු වූ දරුණු ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් තිබිණි.

ඊට් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පාකිස්තානයේ සහ පාකිස්තානය අත්පත් කරගත් කාශ්මීරයේ ත්‍රස්තවාදී කඳවුරු ඉලක්ක කර ගනිමින් සින්දූර් මෙහෙයුම දියත් කළේය.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රියාවන්ට එරෙහිව එම ක්‍රියා ‘ක්‍රීඩාවේ ජීවගුණයට’ විරුද්ධ බවපවසමින් පකිස්ථාන කළමනාකාරිත්වය නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත තහවුරු කරයි.

කාසියේ වාසිය ලබා ගැනීමේදී සූර්යකුමාර් යාදව්ට අතට අත නොදෙන ලෙස තරඟ තීරක පයික්‍රොෆ්ට්, පාකිස්තාන නායක සල්මන් ආගාට දැනුම් දුන් බව පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් WhatsApp හරහා බෙදා ගන්නා ලද නිල ප්‍රකාශයකින් තහවුරු විය.

එහෙත් තරඟයෙන් පසු කටයුතු සඳහා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැත.

“එම හැසිරීම ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනි බව පවසමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිල වශයෙන් විරෝධතාවක් ගොනු කර ඇත,” යනුවෙන් නිල ප්‍රකාශයේ සඳහන් විය.

පකිස්ථාන නායකයා නිල විකාශක සෝනි සමඟ තරඟයෙන් පසු සම්මුඛ සාකච්ඡාවට නොපැමිණීමෙන් පසු තවත් මතභේදයක් ඇති විය.

අතට අත නොදීමේ ප්‍රශ්නය නිසා සල්මන් ආගා තරඟයෙන් පසු සංජේ මන්ජ්රේකර් සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාව නොසළකා හැර ඇති බව දැන් තහවුරු වී ඇත.

“ඉන්දීය කණ්ඩායමේ හැසිරීමට විරෝධය පළ කරමින් සල්මන් අලි ආගා තරඟයෙන් පසු සාකච්ඡාව මඟ හැරියේය” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

තරගය ආරම්භ වූයේ නායකයන් වන සූර්යකුමාර් යාදව් සහ සල්මන් අලි ආගා අතට අත දීමක් හෝ ඇස ගැටීමක් සිදු නොකරමිනි.

කෙසේවෙතත්, ඉන්දීය නායකයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායක මුහම්මද් වසීම් සමඟ අතට අත දී නොතිබූ බැවින් මෙය විශාල දෙයක් ලෙස නොසැළකේ.

කෙසේවෙතත්, සූර්යකුමාර් යාදව් ජයග්‍රාහී හයේ පහරක් එල්ල කිරීමෙන් පසු ඔහු සහ ශිවම් ඩුබේ පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත නොදී ඇඳුම් පැළඳුම් කාමරයට කඩා වැදිණි.

මුලදී, සල්මන් ආගා සහ ඔහුගේ කණ්ඩායම පවා අතට අත දීමට උනන්දු නොවූ බව පෙනෙන්නට තිබිණි.

කෙසේවෙතත්, නායක ආගා සහ පුහුණුකරු මයික් හෙසන්ගේ නායකත්වයෙන් යුත් මුළු පාකිස්තාන කණ්ඩායමම සුපුරුදු අතට අත දීම සඳහා බලා සිටිමින් ඉන්දීය ඇඳුම් පැළඳුම් කාමරයට ළඟා වූ විට ඉන්දීය කළමනාකාරිත්වය දොර වසා දැමුවේ තරඟයෙන් පසු විධිමත් කටයුතු සඳහා පිටතට ගොස් අත දීමට ඇති ඕනෑම අවස්ථාවක් වසා දමමිනි.

මෙය පාකිස්තාන පුහුණුකරු හෙසන් කෝපයට පත් කළ අතර, ඔහු තම ස්ථාවරය පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවට පවා පැමිණියේ තම කණ්ඩායමට අතට අත දීමට අවශ්‍ය බව පවසමිනි.

එහෙත් අනෙක් පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

සූර්යකුමාර් ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුද කළේය.

පරම ප්‍රතිවාදියාට එරෙහි ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සූර්යකුමාර් යාදව් ඉන්දියාවේ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුද කරමින්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් සමඟ මුළු කණ්ඩායමම සහයෝගයෙන් සිටින බව පැවසීය.