May 14, 2023

සමගි ජන බලවේගයට සහාය පළකරමින්, එම පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ හිටපු ඇමැතිවරයකුද වන පී. හැරිසන්, ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව ප්‍රකාශ කරයි.

අනුරාධපුරයේ දී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පී. හැරිසන් පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනකු පමණ ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවයි.

සමගි ජනබලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවද පී. හැරිසන් වැඩිදුරටත් සඳහන් කළේය.

“ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන නෙමෙයි, මම එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 40කට ආසන්න කාලයක් මේ පක්ෂයේ ක්‍රියාකාරීව හිටපු කෙනෙක්. ඒක නිසා මම තීන්දු කෙරුවා මමත් අපේ ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත්, ඒ වගේම තව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 100ක් එක්ක තව සති දෙකකින් ඔබ තුමාලාගේ මධ්‍යට මම එන්න ලෑස්ති. ඒ විතරක් නෙමෙයි මම එකක් කියන්නම් තව පොහොය දෙකක් යන්න ඉස්සර වෙලා සමගි ජනබලවේගයේ බාගෙට බාගයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට යන එක නවත්තන් බැහැ. සමහර මන්ත්‍රීවරු දවල්ට සජිත් මහත්තයාට මූණ පෙන්නුවාට රෑට රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක සාකච්ඡා.”