November 1, 2025

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරට අතර විදුලිබල ජාල අන්තර් සම්බන්ධතා ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද සහ කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීම සඳහා ඊළඟ පියවර සාකච්ඡා කිරීම සඳහා වීඩියෝ තාක්ෂනය ඔස්සේ රැස්වීමක් පවත්වා තිබේ.

දේශසීමා විදුලි වෙළඳාම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන කලාපීය බලශක්ති වැඩසටහනක් වන යෝජිත ඉන්දු -ශ්‍රී ලංකා විදුලිබල ජාල අන්තර් සම්බන්ධතාව සඳහා වන මෙහෙයුම් රාමුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බ්‍රහස්පතින්දා (30) මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ඉන්දීය දූත පිරිසට නායකත්වය දුන්නේ එරට විදුලිබල අමාත්‍යාංශ ලේකම් පන්කජ් අගර්වාල් වන අතර ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේ බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල ය.

ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද සහ තාක්ෂණික සම්බන්ධීකරණය කෙරෙහි සාකච්ඡාවේ අවධානය යොමු විය.

මෙම රැස්වීම පැවැත්වුණේ 2025 ජුනි 16 වැනිදා නවදිල්ලියේදී පැවති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයේ තාක්ෂණික පරාමිතීන් අවසන් කළ රැස්වීමෙන් පසුවය.

සම්ප්‍රේෂණ මාර්ගය ශ්‍රී ලංකාවට හිඟයන්හිදී විදුලිය ආනයනය කිරීමට සහ අතිරික්ත පුනර්ජනනීය විදුලිය ඉන්දියාවට අපනයනය කිරීමට ඉඩ සලසන අතර එමඟින් දිවයිනට වටිනා විදේශ විනිමය උපයා ගත හැකිය.

මෙම ව්‍යාපෘතිය මඟින් ජාලක ස්ථායිතාව ශක්තිමත් කිරීම, බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සහ ශ්‍රී ලංකාව පුළුල් දකුණු ආසියානු කලාපීය බලශක්ති වෙළඳපොළට ඒකාබද්ධ කිරීම ද අපේක්ෂා කෙරේ.

ඉදිරි මාසවලදී ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම අවසන් කිරීම සඳහා තාක්ෂණික හා ප්‍රතිපත්ති මට්ටමේ සාකච්ඡා අඛණ්ඩව කරගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.