November 18, 2023

කැළණිතිස්ස බලාගාරය සති 06 ක කාලයක් සඳහා වසාදමා ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ (17) සිට බලාගාරය සති 6 ක් සඳහා වසාදැමූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු අංශය සඳහන් කරයි.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය කල, නොරොච්චෝල ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද ජාතික පද්ධතියට එක් කිරිමට දින 05 ක් පමණ ගතවනු ඇතැයි විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරයි.

බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් නිසා එය ක්‍රියා විරහිත කිරීමට සිදුවූ බව ලංවිම ඊයේ නිවේදනය කළේය.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 300 ක්.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ද මේ වන විට පවතින්නේ අක්‍රියවයි.

ඒ , නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

එමගින් ද මොගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වේ.

කෙසේවෙතත් අඛණ්ඩ විදුලිය සැපයුමට බාධාවක් නොවන බව, විදුලිබල මණ්ඩලය තහවුරු කරයි.