July 29, 2023

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බවත් එය අන්තවාදී මතවාදයන් මත පදනම් වූ සහරාන් ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද්දක් බවත් අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සඳහන් කරයි.

මහාචාර්ය ගුණරත්න විසින් රචනා කරන ලද ‘ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය : අන්තර්ජාතික ප්‍රජාවට පාඩම්'(Sri Lanka’s Easter Sunday Massacre: Lessons for the International Community) කෘතිය එළිදැක්වීම සිකුරාදා (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු විය.

“මේ සිද්ධිය පිටුපස කිසිම කුමන්ත්‍රණයක් නැහැ. සහරාන්ගේ බිරිඳ ඇතුළු අය කියපු විදිහට ඔහු (සහරාන්) කවදාවත් ගිහින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් (හිටපු ජනාධිපති) හෝ වෙන කවුරුන් වෙනුවෙන්වත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඒක කළේ එයාලගේ හිතේ හැටියට. ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇතුළු අන්තවාදී මතවාදයන් වෙනුවන්” යැයි මහාචාර්ය ගුණරත්න එහිදී සඳහන් කළේය.

එසේම, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක වැදගත්කම මෙහිදී අවධාරණය කළ මහාචාර්ය රොහාන් ගුණරත්න පෙන්වාදුන්නේ, එවැනි වැඩපිළිවෙලක් නොමැතිකම ඉදිරියේදීද මෙවැනි ඛේදවාචකවලට තුඩුදිය හැකි බවයි.

මෙම අවස්ථාවට විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි, කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු මහජන ආරක්‍ෂක ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ යන අය ඇතුළු තවත් ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ගුණරත්න කියා සිටියේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධ වූවන් සහ විවිධ අන්තවාදී පුද්ගලයන් හා සංවිධාන සමඟ සබඳතා පැවැත්වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම ඉතා වැදගත් බවයි.

“ලෝකයේ වෙනත් රටවල අන්තවාදී මත දරන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රියාවලියකට ලක් කළ යුතුයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර හතරක් ගතවී ඇතත්, සැකකරුවන් සඳහා පුනරුත්ථාපන යාන්ත්‍රණයන් රජය විසින් තවමත් ආරම්භ නොකිරීම කණගාටුවට කරුණක්” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.