April 19, 2024

ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සියයට 50ක මූලික ඡන්ද පදනමක් තහවුරු කර ගනිමින් ජනාධිපති ධුරය දිනාගැනීම සඳහා මේ වන විටත් රහසිගත සාකච්ඡා මෙන්ම ප්‍රබල ප්‍රචාරණ කටයුතුද ආරම්භ වී තිබේ.

කලින් වාර්තා වූ පරිදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත්ම ලකුණකින් තරග කරන ජාතික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වනු ඇති අතර ඔහුට සහාය දෙන ලෙස සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇත.

ජනාධිපතිවරයා අලියා ලකුණින් තරග කළහොත් ජයග්‍රහණයක් අත්කර ගත නොහැකි බවත් සියයට 50ක ඡන්ද පදනමක් ඉලක්කකර ගනිමින් තම අපේක්ෂකත්වයට සහාය දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කර ඇති බවත් වික්‍රමසිංහට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් වික්‍රමසිංහට සහය පළ කර ඇති අතර, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් වූ වහාම වික්‍රමසිංහට සහය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති සමගි ජන බලවේගයේ ඇතැම් ප්‍රධාන මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා සිදුවෙමින් පවතී.

එහෙත් මේ වන විට සිදුවෙමින් පවතින මෙම සියලු සාකච්ඡා සමඟින්, රනිල් වික්‍රමසිංහටම අද වන විට සියයට 50ක ඡන්ද පදනමක් පහසුවෙන් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර සාමාජිකයන් කිහිප දෙනෙකු වික්‍රමසිංහට සහාය දැක්වීම සහ තවත් බොහෝ දෙනෙකුට තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවශ්‍ය වීමත් සමඟ බෙදීමකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂගේ මග පෙන්වීම යටතේ නියත වශයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා පළවෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසා තිබුණේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව ලකුණ තිබෙනු ඇති බවයි.

කෙසේවෙතත් පක්ෂය ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර වික්‍රමසිංහ ඇතුළු නම් කිහිපයක් සළකා බලන බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොහොට්ටුව ලකුණින් තරඟ නොකරන බව රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කළද, අද වන විට, එහි කිසිවකුට සියයට 50ක ඡන්ද පදනමක් හිමි නොවනු ඇති අතර, ජනාධිපතිධුරය දිනාගැනීමට ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක නිරත වීමට සිදුවනු ඇත.

ප්‍රධාන විපක්ෂය වනසමගි ජන බලවේගය නියෝජනය කරමින් තරඟ කරන සජිත් ප්‍රේමදාස ද සිටින්නේ ගැටලුවකය.

ඔහුගේ ප්‍රධාන සාමාජිකයන් කිහිප දෙනෙකු දැනටමත් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මෙම මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ සමග එක්වුවහොත් ඔහුගේ ඡන්ද බෙදී යනු ඇත.

සියයට 50 ඡන්ද පදනම තහවුරු කර ගැනීමට නම් පක්ෂය නොවෙනස්ව තබා ගැනීමට ඔහුට සිදුවනු ඇත.

2019 දී ප්‍රේමදාස සියයට 40ක ජයග්‍රහණයක් ලබා ගත්තද, ඔහුගේම පක්ෂයේ ඇති වූ ගැටලු නිසා අද වන විට ඔහුට ද සියයට 50ක ඡන්ද පදනමක් නැත.

එසේම පසුගිය වසරේ මුල් භාගයේදීම සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක තවමත් උත්සාහ කරන්නේ ද සියයට 50ක ඡන්ද පදනම තහවුරු කර ගැනීමටය.

ඔහුගේ පක්ෂයට සහයෝගය සහ ඡන්ද සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා රට පුරා සෑම දිස්ත්‍රික්කයකම ප්‍රබල ව්‍යාපාරයක් ආරම්භ කර ඇති නමුත් අද වන විට පක්ෂය සියයට 50 ක ඡන්ද පදනමක් ලබාගෙන තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි.

භූමියේ සිටින දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ඡන්දදායකයන්ගෙන් විශාල ප්‍රතිශතයක් තමන් සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න තවමත් තීරණය කර නොමැත.