September 4, 2025

කාලයාගේ ඇවෑමෙන් කිසිදු අපරාධයක් සැඟවිය යුතු නැති බවත්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට කාලය කිසිදා බාධාවක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

අපරාධ සිදුකරන ලද්දේ කවදාද හෝ කොතැනද යන්න නොසලකා කිසිදු භේදයකින් තොරව දඬුවම් කිරීමට වත්මන් රජය අධිෂ්ඨාන කරගෙන සිටින බව ඔහු සහතික විය.

“නීතිය සුරකිමු – සාමය අගය කරමු” යන තේමාව යටතේ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගනයේ ඊයේ (03) පස්වරුවේ පැවති 159 වන පොලිස් දින සැමරුම අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

“ඇතැම් සංකල්ප ගොඩනඟන්න උත්සාහ කරනවා. මේ අපරාධ සහ ඝාතන වසර 15ක් ගිය විට ශුද්ධ වන බවට. එම ඝාතන කිසිවක් කාලය විසින් සුජාතභාවයට පත් කරන්නේ නැහැ. අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ දිය යුතු නැහැ. එම අපරාධවලට අදාළ සැකකරුවන් තවමත් නීතිය හමුවට පැමිණ වීමට නොහැකි වී තිබෙනවා නම්, එමගින් කිසිසේත්ම අපරාධය ශුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපරාධයට හිමි දඩුවම කවදාද? කොතැනද? කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධාවක් නොවෙයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා මහනායක හිමිවරුන් හමුව චෝදනා කරනු ලැබුවේ, වසර 15ක් පමණ පැරණි අපරාධ චෝදනාවලට හමුදා සාමාජිකයන්ට දඬුවම් පැමිණවීමට රජය කටයුතු කරමින් සිටින බවයි.