November 18, 2026

මෙන්ඩිස් අරක්කු සමාගමින් රුපියල් ලක්ෂ 210ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩිගේ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඔහුව ලබන 01 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බැවින් සහ සැකකරුගේ පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම මෙන්ඩිස් සමාගමේ හිටපු බලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බැවින් මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.

විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද අල්ලස් කොමිසමට නියෝග කෙරිණි.

කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී, 2015 සහ 2016 වසරවලදී චෙක්පත් 15ක් මගින් සැකකරු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

මෙන්ඩිස් සමාගම රජයට ගෙවිය යුතු නීත්‍යානුකූල බදු මුදල් අඩු කර පෙන්වීම වෙනුවෙන් මෙම මුදල ලබා දී ඇති බවට අනාවරණය වී තිබේ.