October 22, 2026

සමස්ත වෛද්‍ය ක්ෂේත්‍රයේම දැඩි විරෝධයට සහ වැඩවර්ජන රැල්ලකට මුලපිරූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරිය සිය නිල නිවස තුළදී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ තීරණාත්මක සංධිස්ථානයක් සටහන් විය.

ඒ, වින්දිත වෛද්‍යවරියගෙන් සිදුකළ සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න විමසීමේ කටයුතු පූර්ණ ලෙස අවසන් කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා නියෝග කිරීමත් සමඟය.

අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, සංවේදී සාක්ෂි විමසීමේ පසුබිම සලකා බැලූ විනිසුරුවරයා, නඩුවට අදාළ නොවන සියලුම පිරිස් විවෘත අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට පොලිසියට උපදෙස් ලබාදුන්නේය.

අනතුරුව දෙවැනි දිනයටත් දීර්ඝ ලෙස සිදුකළ සාක්ෂි හා හරස් ප්‍රශ්න විමසීම් අවසන් කෙරුණු අතර, නඩුවේ වැඩිදුර විභාගය එළඹෙන නොවැම්බර් මස 11 වැනි දින දක්වා කල් තැබිණි. එදිනට පැමිණිලි පාර්ශ්වයේ 4 වැනි සාක්ෂිකරුට අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කර ඇත.

මෙම නඩු වාරයේදී විශේෂ කරුණක් අධිකරණයට දැනුම්දුන් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ හිමාලි ජයනෙත්ති, විත්තිකාර හිටපු යුද හමුදා සෙබළාට එරෙහිව දැනට පවතින අධිචෝදනා දෙකට අමතරව තවත් අධිචෝදනාවක් එක්කරන බව ප්‍රකාශ කළාය. ඒ අනුව, වෛද්‍යවරියට අස්වාභාවික ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 2 (අ) වගන්තිය යටතේ නව අධිචෝදනාව ගොනුකෙරිණි.

අධිකරණය හමුවේ පැමිණිලි පාර්ශ්වයේ නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනිතිඥ හිමාලි ජයනෙත්ති කටයුතු කළ අතර, විත්තිකාර හිටපු හමුදා සෙබළා වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි සහ නීතිඥ ගයාන් සිරිවර්ධන පෙනීසිටියහ.

එමෙන්ම, අගතියට පත් වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්සගේ උපදෙස් පරිදි නීතිඥවරුන් වන කුෂාන් බානගොඩ, මදාරා විජේසිංහ, ජනිත් මහසේන් සහ සුභාෂිණී වීරක්කොඩි පිරිස අධිකරණයේ පෙනීසිටින බව දැනුම්දෙන ලදී.

අපරාධය සිදුවී වසරක්, මාස දෙකක් සහ දින 12ක් වැනි කාලයක් ඇතුළත, එනම් 2026 මැයි මස 22 වැනි දින විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.

මෙය ප්‍රමුඛතාව ලබාදිය යුතු විශේෂ නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් අධිචෝදනා ගොනුකිරීම කැපීපෙනෙන නීතිමය පියවරක් ලෙස සැලකේ.