December 18, 2025

‘දිට්වා’ සුළිකුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උණපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කළු පාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම්වල සිරවී තිබිණි.

එමනිසා එම පාලම් ඔස්සේ ජලය ක්‍රමවත්ව බැසයාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් විය.

අධික ජල ගැලීම් හේතුවෙන්, පේරාදෙණිය කළු පාලම දුම්රිය පාලමේ අවහිරතා ඉවත්කිරීම සඳහා විශේෂ කිමිදුම් කණ්ඩායමකගේ සහාය 2025 දෙසැම්බර් 04 සිට ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේද සහය සහිතව නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වයෙන් සති දෙකක පමණ කාලයක් සිදුකළ අඛණ්ඩ මෙහෙයුමකින් පසුව, කළු පාලමේ සිරවූ දැව කඳන් සහ විශාල උණපඳුරු ඇතුළු අවශේෂ මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර, එම පාලම ඔස්සේ අවහිරයකින් තොරව ජලය බැසයාමට සැලැස්වූ අතර, එමඟින් එහි ඉදිරි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම, පේරාදෙණිය නිල්ලඹ ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඇති කළුගමුව පාලමේ සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ හේතුවෙන්, ගැටඹේ සිට නිල්ලඹ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරය වෙත ජලය රැගෙන යනු ලබන ප්‍රධාන ජල නල මාර්ගයට හානි සිදුවීමේ අවදානමක් ඇතිවිය.

ඒ අනුව, එම පාලමේඅවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් 2025 දෙසැම්බර් 11 දින නාවික හමුදාව ආරම්භ කළ විශේෂ කිමිදුම් සහය සහ ශිල්පීය දායකත්වය ලබාදිමේ මෙහෙයුම, 2025 දෙසැම්බර් 14 දින සාර්ථකව අවසන් කිරීමෙන්, එම ප්‍රධාන ජල මාර්ගය වෙත සිදුවීමට හැකිව තිබූ හානි වීමේ අවදානම ඉවත් කිරීමට හැකිවිය.
(Navy Media)