September 14, 2026

සාමාන්‍ය නිරීක්ෂණ මුර සංචාරයක යෙදී සිටියදී පසුගිය අගෝස්තු 15 වැනිදා අඟුලාන මුහුදු තීරයේදී අනතුරට ලක්ව මුහුදුබත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘P 4447’ වේගවත් ප්‍රහාරක යාත්‍රාව අඩි 80ක් පමණ මුහුද යට තිබී සාර්ථකව ගොඩගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

සැප්තැම්බර් 11 වැනිදා මුහුදු පතුලෙන් උඩට ගත් මෙම ප්‍රහාරක යාත්‍රාව පසුව ආරක්ෂිතව කොළඹ ඩොක්යාර්ඩ් පරිශ්‍රය වෙත ඇදගෙන ඒමට කටයුතු කර ඇත.

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ අඟුලාන ප්‍රදේශයේ ධීවරයන් එක්ව සිදුකළ මෙහෙයුමෙන් යාත්‍රාවේ සිටි නාවිකයින් 11 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකි විය.

කෙසේවෙතත්, අවාසනාවන්ත ලෙස අතුරුදහන් වූ යාත්‍රාවේ උප ප්‍රධාන නිලධාරියාගේ සිරුර සැප්තැම්බර් 04 වැනිදා සොයාගැනීමත් සමඟ පළමු අදියර නිමාවට පත් විය.

අඩි 80ක් යට අධික රළු මුහුදු තත්ත්වය සහ අවදානම් සහිත දිය යට පරිසරය හමුවේ විශේෂිත නාවික හමුදා කිමිදුම් සහ ඉංජිනේරු කණ්ඩායම් විසින් අදියර කිහිපයක් යටතේ යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම දියත් කරන ලදී.

නාවික හමුදාවේ යාන්ත්‍රික, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශවලට අමතරව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ ඩොක්යාර්ඩ් සමාගම ද මේ සඳහා තාක්ෂණික සහය ලබාදී ඇත.

නාවික හමුදාව සඳහන් කරන්නේ මෙය තම කිමිදුම් සහ ඉංජිනේරු අංශවල ඉහළ වෘත්තීය මට්ටම සහ තාක්ෂණික කුසලතාව විදහා දැක්වූ සන්ධිස්ථානයක් බඳු මෙහෙයුමක් වූ බවයි.