April 10, 2026

නාසා ආයතනයේ ආටෙමිස් II (Artemis II) මෙහෙයුම යටතේ සඳේ ඈත කෙළවරේ සිට නැවත පෘථිවිය බලා පැමිණෙන ගගනගාමීන් සිව්දෙනකු ඊයේ අභ්‍යවකාශයේ සිට පැවැත්වූ ඔවුන්ගේ පළමු ජනමාධ්‍ය සාකච්ඡාවේදී සිය හැඟීම් ප්‍රකාශ කළහ.

එහිදී ඔවුන් පෙර නොවූ විරූ මෙම ගවේෂණය අවසන් කර පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමට සූදානම් වන ආකාරය පිළිබඳව විස්තර කළහ.

පසුගිය සතියේ ෆ්ලොරිඩාවේ සිට ගමන් ආරම්භ කළ දා සිට ඔරායන් කැප්සියුලයේ ගමන් කරන ආටෙමිස් II කාර්ය මණ්ඩලය, මෙම සතිය මුලදී සඳ වෙත ළඟාවීමෙන් පසු සිකුරාදා සවස් කාලයේ දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පතිත වීමට නියමිතය.

ඔවුන් සඳෙහි අඳුරු වූ එපිට කෙළවර පසුකරමින් ගමන් කළ අතර, ඒ හරහා ඉතිහාසයේ වැඩිම දුරක් අභ්‍යවකාශයේ ගමන් කළ මිනිසුන් බවට පත්විය.

නැවත පෘථිවිය බලා එන ගමනේදී, ඔවුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට පැයට සැතපුම් 23,839 ක (පැයට කිලෝමීටර් 38,365) වේගයකින් ගමන් කරනු ඇත.

මෙය මෙහෙයුමේ ඉහළ අවදානමක් සහිත අදියරක් වන අතර, දැඩි වායුගෝලීය ඝර්ෂණයට ලක්වන ඔරායන් යානයේ තාප ආවරණයේ ශක්තිමත්භාවය මෙහිදී දැඩි පරීක්ෂාවකට ලක්වනු ඇත.

නැවත පැමිණීම ගැන හැඟෙන්නේ කෙසේදැයි විමසූ විට, ආටෙමිස් II මෙහෙයුමේ නියමුවා වන වික්ටර් ග්ලෝවර් පැවසුවේ, “ඇත්ත වශයෙන්ම, 2023 අප්‍රේල් 3 වැනි දින අපව මෙම මෙහෙයුමට පත්කළ දා සිටම මා මේ නැවත ඇතුළු වීම ගැන සිතමින් සිටියා. තවත් බොහෝ ඡායාරූප සහ කථා රාශියක් තිබෙනවා. දෙයියනේ, අප මුහුණදුන් අත්දැකීම් ගැන සිතාගැනීමටවත් මට තවම අවස්ථාවක් ලැබුණේ නැහැ. අපට තවත් දින දෙකක් ඉතිරිව තිබෙනවා.” යනුවෙනි.

ග්ලෝවර් සමඟ නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන්, ආටෙමිස් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ඩොලර් බිලියන ගණනක මෙම මෙහෙයුම් මාලාව නියෝජනය කරති.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ චීනයට පෙර 2028 වන විට මිනිසුන් නැවත සඳ මතුපිටට ගෙනයෑම සහ මීළඟ දශකය තුළ සඳ මත කඳවුරක් ඉදිකරමින් අඟහරු ග්‍රහයා වෙත යන අනාගත මෙහෙයුම් සඳහා පදනම සකසා ගැනීමයි.