
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණත් අලුතින් සිතීමට කාලය එළඹ ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් හමුවීමෙන් පසු ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවුණ පක්ෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් පක්ෂ කිහිපයක් අද නෙළුම් මාවත පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී මුණ ගැහුණා. ඉදිරියේ දී අපට මුහුණ දෙන්න වෙන අභියෝග සහ ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණ වලට මුහුණ දියයුතු ආකාරය පිලිබඳව අපි සාකච්ඡා කළා.
ඒ වගේම රටේ මහජනතාව මේ වන විට මුහුණපාලා තිබෙන අභියෝග සහ ආර්ථික ගැටළුවලට පක්ෂයක් විදිහට හා සන්ධානයක් විදිහට අපි පිළියම් යොදන ආකාරය පිළිබදවත් සාකාච්ඡා කළා. ඒවගේම පොදුජන පෙරමුණ හා බැදුණු වෘත්තීය සමිති ව්‍යාපාරය නවීකරණය කළයුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කළා. දසබල සේනා ගොඩනගන ගමන තුළ වෘත්තීය සමිති නවීකරණය කිරීමත් ඉදිරියේ දී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙ දී වෘත්තීය සමිති ක්‍රියාකළ යුතු ආකාරය ගැනත් අපි සාකච්ඡා කළා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට අපි විරුද්ධයි. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින් ඒවායේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩිකර ගතයුතු ආකාරය ගැන අපි වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. එමෙන්ම ඉදිරියේ දී ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදහස්කර ඇති ආයතන ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවා පෞද්ගලීකරණයට හෝ විජාතිකකරණයට ලක්නොකර ඵලදායී ලෙස හා කාර්යක්ෂම ලෙස ඒවා ගොඩනඟන ආකරය ගැන ඉදිරියේ දී ජනතාව සහ ආණ්ඩුව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා .
සුසිල් ප්‍රේමජයන්ත සහ රොෂාන් රණසිංහ යන මැතිතුමන්ලා දැන් වෙනම සන්ධාන ඇති කරගෙන තිබෙනවා. මේ අය තමයි මීට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කළේ. එදා ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කළ අය දැන් දෙකට බෙදිලා වෙනවෙනම සන්ධාන හදාගෙන රැලි පවත්වනවා. අපිත් එක්ක එකට ඉන්න බැරි අයට බෙදිලා ගිහිල්ලත් ඉන්න බැහැ. ඒ අයගෙත් වෙනම දේශපාලන මතයක් ඇති. ඒක ප්‍රකාශ වෙන්නත් ඕනා. කෙසේවෙතත් මේක ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක්ෂණයක්. අලුත් පක්ෂ නිර්මාණය වෙන්නත් ඕනා. ඒවගේම නිමල් ලංසා මැතිතුමාත් ආරම්භ කරපු නව සන්ධානයට මම සුභ පතනවා.
ඒවගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වෙනම සන්ධානයක් ගොඩනගන්න හදනවා. එම සන්ධානයටත් මම සුබ පතනවා. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිංදුවට වැටිලා තිබුණේ. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියේ. අපි එතනින් එළියට ආවේ ප්‍රතිපත්තිමය ගැටළුවක් නිසා මිසක පෞද්ගලික ගැටළුවක් නිසා නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තව අලුතින් තරුණ පක්ෂ නිර්මාණය විය යුතුයි. අලුතින් තරුණයින් දේශපාලනයට පැමිණිය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබුවා සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන්. අපිත් සිතනවා සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරනවා ඔහුගේ ආණ්ඩුවක් යටතේ මෙම සමාජ මාධ්‍ය නියාමනය අහෝසි කරනවා යැයි කියා. මේක තමයි පාරම්පරික දේශපාලනික මානසිකත්වය. කළින් ජනාධිපතිවරයා කළ සියල්ල අහෝසි කිරීම. අද පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂවල නායකයින්ට තිබෙන්නේ මේ පාරම්පරික දේශපාලන මානසිකත්වයියි. ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි නවීකරණය විය යුතුයි. අපි අතින් වෙච්ච වැරදි පිළිගෙන ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යාමයි විය යුත්තේ. අපි කාලෙන් කාලෙට දේශපානික වාසි ගැනීමට අවස්ථාවාදීව අපේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන නැහැ. අපි අපේ මතයේම සිටිනවා. ජයග්‍රාහී මාවතට අපේ පක්ෂය අපි රැගෙන යනවා. ගමට යන අපේ දසබල සේනා වැඩසටහන සාර්ථකයි. ඒ හරහා සද්ජන රළ බිහි කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart