May 24, 2025

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන්නේ, වත්මන් ආණ්ඩුව ලබන වසරේ මැයි 24 වැනි දිනෙන් පසු බලයේ නොසිටින බවයි.

අද (24) ජනමාධ්‍යවේදීන් අමතමින් නලින් බණ්ඩාර කියාසිටියේ, මහජනතාව අතර පමණක් නොව රජයේ නිලධාරීන් සහ බුද්ධිමතුන් අතර ද ආණ්ඩුව කෙරෙහි අතෘප්තිය වර්ධනය වෙමින් පවතින බවයි.

“දැක්මක් හෝ අත්දැකීම් නොමැති කණ්ඩායමකට බලය ලබාදුන්නොත් කුමක් සිදුවේදැයි අපි අනතුරු ඇඟෙව්වා. දැන් අපි එහි ප්‍රතිවිපාක දකිනවා,” ඔහු පැවැසීය.

“මෙය ඉතිහාසයේ අඩුම ප්‍රගතිශීලී ආණ්ඩුව. ජනතාවගේ ගැටලුවලට ඔවුන්ට විසඳුම් නැහැ. ඔවුන්ට ඡන්දය දුන් අය දැන් අප්‍රසාදය පළකරමින් සිටිනවා” ඔහු තවදුරටත් සඳහන් කළේය.

ලබන වසරේ මැයි 24 වැනි දිනට පෙර ආණ්ඩුව ගෙදර යවන්නේ, ආණ්ඩුව බලයට ගෙනා ජනතාවම බව නලින් බණ්ඩාර පැවැසීය.

“අද දිනය සලකුණු කරලා තියාගන්න, මැයි 24. ලබන වසරේ මේ දවස වෙනකොට ආණ්ඩුව ගෙදර යවන්නේ අපි නෙමෙයි, ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව විසින්මයි” ඔහු අවධාරණය කළේය.