August 13, 2025

බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතයෙන් රජයේ විශ්වවිද්‍යාලවලදී විවිධ විෂය ක්ෂේත්‍රවලට අදාළ උපාධි සම්පූර්ණ කරන සිසුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් රට හැර යමින් සිටින අතර ඔවුන් යළි මව්රටට නොපැමිණෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සහ ලක්ෂ්මන් කුමාර විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු වන වසන්ත අතුකෝරල පවසා ඇත්තේ, ඇතැම් අංශවල සිසුන්ගෙන් සියයට 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් එලෙස සංක්‍රමණය වන බවයි.

නිදහස් අධ්‍යාපනය හරහා ඔවුන් වෙනුවෙන් වැයකරන මුදල සලකාබැලීමේදී මෙය බරපතල කනස්සල්ලට කරුණක් බව ද ඔහු පවසයි.

එමෙන්ම මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ, එලෙස රට හැරයන බොහෝ දෙනා විශ්වවිද්‍යාල මට්ටමින් ඉහළම ලකුණු මට්ටම් ලබාගන්නා හොඳම උපාධිධාරීන් බවයි.

ඇතැම් අවස්ථාවලදී, විද්‍යාව පදනම් කරගත් උපාධි හදාරන සියලුම සිසුන් පාහේ රට හැරයමින් සිටින අතර නැවත කිසිදා ඔවුන් මෙරටට නොපැමිණෙනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

“දැනට රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින් 142,000ක් පමණ අධ්‍යාපනය ලබනවා .ඔවුන්ගෙන් 25%ක් කලා, 20%ක් කළමනාකරණය සහ වාණිජ, 13% ඉංජිනේරුවන්, 10% වෛද්‍ය, දන්ත විද්‍යාව, පශු වෛද්‍ය සහ අනුබද්ධ සෞඛ්‍ය සහ 11% කෘෂිකර්ම හා පරිගණක විද්‍යා යන අංශවලින් උපාධිය හදාරනවා. වාර්ෂිකව ජාතික විශ්වවිද්‍යාල සඳහා වසරකට සිසුන් 44,000ක් පමණ ඇතුළත් වනවා. 2023 දී මුළු උපාධි ප්‍රදානය 33, 306 යි ”ඔහු පැහැදිලි කරයි.

2023 වසරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා රජය රුපියල් බිලියන 69.9 ක පුනරාවර්තන වියදම් සහ රුපියල් බිලියන 16.7 ක ප්‍රාග්ධන වියදම් ද ඇතුළත්ව දළ වශයෙන් රුපියල් බිලියන 87 ක් වැය කර තිබේ. ඊට අමතරව අදාළ විශ්වවිද්‍යාල තමන්ගේම ඉපැයීම් අරමුදල් ද වැයකරන බව මහාචාර්ය අතුකෝරල වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමිලේ උසස් අධ්‍යාපනය ලබා සංක්‍රමණය වන ශ්‍රී ලාංකික සිසුන් තම අධ්‍යාපන වියදම් රජයට ප්‍රතිපූරණය කළ යුතු බව අධ්‍යයනය මගින් නිර්දේශ කර තිබේ.

”ආණ්ඩුවට වියදම ගෙවන්න කියලා දන්වන්න බැරිනම් අඩුම ගානේ අමෙරිකානු ඩොලර් 50,000ක් වත් ලංකාවට එවිය යුතුයි. සමහර විට ඔවුන් මේ මුදල් එවිය යුත්තේ රටේ සිටින තම පවුලේ සාමාජිකයන්ට නම් එයින් රටට යම් ප්‍රතිලාභයක්ද සැලසිය යුතුයි” මහාචාර්යවරයා අවධාරණය කරයි.

ඔවුන් මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ රට පුරා ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල 19 කින් එක්රැස් කරන දත්ත පදනම් කර ගෙනය.