July 11, 2025

ගාල්ල ජනප්‍රිය බාලිකා විද්‍යාලයක 2023 වර්ෂයේදී 12 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිසුවියකගෙන් රුපියල් 25,000ත්, – 30,000ත් අතර මුදලක් ලබාගෙන ඇත.

එම මුදල් පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට බැර නොකර හිටපු විදුහල්පතිවරියගේ උපදෙස් මත වෙනත් ගිණුමකට බැරකරවාගෙන තිබූ බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙකී පාසලට 2023 වර්ෂයේදී 12 වැනි ශ්‍රේණියට ශිෂ්‍යාවන් 62 දෙනකු ඇතුළත් කරගෙන තිබිණි.

විධිමත් අනුමැතියක් සහිතව රැස්කරන ලද සියලුම මුදල් පාසල් සංවර්ධන අරමුදලට බැර කළ යුතු බවට විගණනය මඟින් නිර්දේශකොට ඇත.

මේ පිළිබඳ දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ, 2022 වර්ෂයේදී පාසලේ 12 වැනි ශ්‍රේණියට වෙනත් පාසල්වලින් ඇතුළත් කරගත් සිසුවියන්ගේ මවුපියන්ගෙන් ලබාගෙන තිබූ රුපියල් දාහත්ලක්ෂ, දසදහසක (1,710,000) මුදලක් ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමට බැරකොට ඇති බවය.

අවුරුදු දෙකක පහසුකම් හා සේවා ගාස්තු විද්‍යාලයේ නිල ඇඳුමට අවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් හා ඉදිරියේදී සියලුම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කර ලබාදීමේ වියදම් මෙම මුදලට ඇතුළත්ව ඇති බව පැවසෙයි.

ආදි ශිෂ්‍ය ගිණුමේ තැන්පත්කොට ඇති මුදල්වලින් රුපියල් දෙලක්ෂයක් පාසල් සංවර්ධන සමිති ගිණුමටද, වර්ෂ දෙකක පහසුකම් හා සේවා ගාස්තු විද්‍යාලයේ පහසුකම් හා සේවා ගාස්තු ගිණුමටද අයකරගෙන රිසිට්පත් ලබාදී ඇති බවද වාර්තා වේ.

දකුණු පළාත් සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුක්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.(මව්බිම)