July 28, 2025

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකටයුතු ලෙස පුද්ගලයකු මියගිය සෑම අවස්ථාවකදීම එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසා ඇත්තේ, සෑම පොලිස් ස්ථානයකම රැඳවියන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් වගකිව යුතු රාජකාරි නිලධාරියකු සිටින බවයි.

රැඳවියෙකු සැකකටයුතු ලෙස මියගිය විට ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් පිළිබඳව සොයාබලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු මියගිය විට, නිසි පියවර ගැනීමට ‍රජය වගබලා ගන්නා බවත්, අභ්‍යන්තර පරීක්ෂණවලින් පොලිස් නිලධාරීන්ට දඬුවම් කළ අවස්ථා කිහිපයක් තිබෙන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, සෑම රැඳවියකුම නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් ස්ථානවල නිලධාරීන් පත්කිරීම ප්‍රායෝගික නොමැති නමුත් මෙම සිදුවීම් වැළැක්වීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.