April 30, 2025

සිය අමාත්‍ය ධුරය නොසළකා මෑතකදී පොලිස් නිලධාරීන් විසින් තමා පරීක්ෂාවට ලක් කළ බවත් එය මෙරට පද්ධතියේ සිදුවෙමින් තිබෙන වෙනසට සාක්ෂියක් බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.

දේශපාලන රැලියක් අමතමින් අමාත්‍ය රත්නායක පැවසුවේ මාවනැල්ලට යන අතරතුර අහඹු පරීක්ෂාවක් සඳහා පොලිසිය විසින් තමා නැවතූ අතර එම අවස්ථාවේදී ඔහුගේ රියදුරු බලපත්‍ර සහ අදාළ ලියකියවිලි පරීක්ෂා කළ බවයි.

“සාමාන්‍යයෙන්, ලොකු වාහනයක් නැවැත්තුවොත් පොලිස් නිලධාරියාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබෙනවා. ඉන්පසුව වාහනය වහාම නිදහස් කරනවා. අවුරුදු නිවාඩුවේ මම මාවනැල්ලට යද්දී පොලිස් සැරයන්වරයෙක් මාව නැවැත්වූවා. මම මගේ රියදුරු බලපත්‍රය සහ අනෙකුත් ලියකියවිලි භාර දුන්නා. ඒවා පරීක්ෂා කිරීමෙන් පසු, ඔහු මට පිටව යන ලෙස පැවසුවා. ප්‍රවාහන අමාත්‍යවරයාගේ බලපත්‍රය පරීක්ෂා කළ බව ඔහු තවමත් දන්නේ නැතුව ඇතැයි මම හිතනවා,” යනුවෙන් ඔහු පැවසීය.

කෙසේවෙතත්, එවැනි සිද්ධියක් මාස අටකට පමණ පෙර සිදුවූයේ නම්, පොලිස් නිලධාරියා මැඩගස්කරයට මාරු කරනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ජනතාවගේ තේරීම අනුව ජනාධිපතිවරයාට, අගමැතිට, අමාත්‍යවරුන්ට සහ මහජනතාවට සමාන නීතියක් ගෙනැවිත් ඇති බව අවධාරණය කරමින්, රට තුළ සමාන නීතිය ක්‍රියාත්මක කිරීම යම් ප්‍රමාණයකට ආරම්භ වී ඇති බව ඔහු පැවසීය.

“මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ කියලා මම පිළිගන්නවා. රජයේ කාර්යාලවල අසාධාරණ ලෙස සැළකීමේ සිදුවීම් අපට තවමත් වාර්තා වෙනවා , එහිදී සාමාන්‍ය කෙනෙක්ට වැඩේ කර ගන්න බලන් ඉන්න වෙද්දී හොඳට ඇඳුමක් ඇඳගත්ත කෙනෙක්ට ඉහළ නිලධාරිගේ කාමරයේ දී තේත් බොන්න දෙනවා. නමුත්, මෙය සෙමින් වෙනස් වන බව අපි දන්නවා, ” යැයි ඔහු පැවසීය.

ජනාධිපතිවරයාගේ සිට අමාත්‍යවරුන් දක්වා මෙම ක්‍රමය දැනටමත් යම් ප්‍රමාණයකින් වෙනස් වී ඇති බැවින්, පළාත් පාලන මැතිවරණයෙන් පසු එය මහ නගර සභා සහ නගර සභා තුළ ද වෙනස් වනු ඇති බව අමාත්‍ය රත්නායක පැවසීය.