July 21, 2024

මීතොටමුල්ල කුණු කන්ද පිහිටි ස්ථානයේ සැලසුම් කර තිබූ නාගරික උද්‍යානයේ කටයුතු දැනට අත්හිටුවා තිබේ.

ඊට හේතුවී ඇත්තේ එම ව්‍යාපෘතියේ ප්‍රගතිය සඳහා තවදුරටත් අරමුදල් අවශ්‍ය වීමයි.

නාගරික සංවර්ධන අධිකාරියේ නිශ්චල දේපළ හා ඉඩම් කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී පියශාන්ත පවසා ඇත්තේ නාගරික උද්‍යානයක් සඳහා සැලසුම් කර කුණු කන්ද මේ වන විට ස්ථාවර කර ඇතත් මුදල් නොමැතිකම ව්‍යාපෘතියට බාධාවක් වී ඇති බවයි.

භූමිය ස්ථාවර කිරීම සඳහා සැළකි යුතු මුදලක් වැය වී ඇති අතර නැවත පස් කන්ද කඩා වැටීමට ඉඩ නොතැබීම සහ දුගඳ පාලනය කිරීම සඳහා වූ වැඩසටහන ද මේ වන විට අවසන් කර තිබේ.

නාගරික උද්‍යානය ආරම්භ කිරීමට නොහැකි වී ඇත්තේ ආර්ථික අර්බුදය හමුවේ එවැනි කටයුත්තක් සඳහා තවදුරටත් වියදම් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට හැකියාවක් නොමැති වීම හේතුවෙන් බව ඊ.ඒ.සී පියශාන්ත ඇත.

ජාතික විගණන කාර්යාලයේ දැනට පවතින නවතම විගණන වාර්තාවට අනුව මීතොටමුල්ල පුනර්ජනන ව්‍යාපෘතිය යටතේ නාගරික උද්‍යානයක් ඉදිකිරීමට 2017 දී කඩා වැටුණු කුණු කන්ද ස්ථාවර කිරීමට සහ හරිතාගාර වායු විමෝචන ඒකකයක් ස්ථාපිත කරමින් ආවරණයක් යෙදීම සඳහා 2020 ජුනි 9 වැනි දින පෞද්ගලික ආයතනයකට රුපියල් මිලියන 269.5ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත.

2023 ඔක්තෝබර් 25 වන විට නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 432.95ක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය සටහන් කරයි.

කෙසේවෙතත්, සැලසුම් කළ පරිදි උද්‍යානයක් ඉදිකර නොතිබූ අතර, 2021 දෙසැම්බර් 23 සිදු කරන ලද භෞතික පරීක්‍ෂණයේ දී ස්ථායීකෘත කසළ කන්ද භාවිතයට නොගෙන ඇති බව නිරීක්ෂණය වී ඇත.

පියශාන්තට අනුව, කුණු කන්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම දුෂ්කර වනු ඇති අතර, එවැනි සංවර්ධනයක් සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවන බැවින් කන්ද මත උද්‍යාන කටයුතු ස්ථාපිත කිරීම දුෂ්කර වනු ඇත.

අනාගත තීරණයක් ගැනීමට පෙර මෙම කරුණු සළකා බැලිය යුතු බව ද ඔහු පවසා තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට මෙම ස්ථානයේ සංවර්ධනය සඳහා සැලසුම් ඇති නමුත් ඉඩම් අත්පත් කර ගැනීම සම්පූර්ණ නොවීම නිසා එය වැළකී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කළ පරිදි රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අසමත් වීම ගැටලුවක් වී ඇති බව ජාතික විගණන කාර්යාලය ද නිරීක්ෂණය කර ඇත.

තවද, මහජනතාවට හානියක් නොවන පරිදි පිරිවිතරයන්ට අනුව කසළ කන්ද ස්ථායීකරණය කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්ත හවුරු කර ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මේ වන විට පස් කන්දෙන් කිසිදු අනතුරක් නොමැති වුවද යළිත් එම ස්ථානයට රහසිගතව කුණු බැහැර කිරීම හේතුවෙන් අවදානමක් ඇති විය හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

(The Sunday Times)