June 3, 2025

මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 132,191 දක්වා ඉහළ ගිය අතර එය කොවිඩ් වසංගතයට පෙර තිබු මට්ටම් ඉක්මවා යෑමකි.

එය මෙම වසරේ මෙරට සංචාරක ඉලක්කය වන සංචාරකයන් මිලියන තුනක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් කරා යෑමේ වේගය ශක්තිමත් කරයි.

නවතම දත්ත අනුව 2024 මැයි මාසයේ පැමිණි සංඛ්‍යාව වූ 112,128ට වඩා සියයට 18.5ක වැඩිවීමක් 2025 එම කාලය තුළ සනිටුහන් කරන අතර එය 2018 මැයි මාසයේදී වාර්තා වූ 129,466ට ද වඩා සුළු වශයෙන් ඉක්මවා යයි.

කොවිඩ් වසංගතය සහ ඉන්පසු පැමිණි අනෙකුත් අර්බුදවලට පෙර සංචාරක අංශයේ හොඳම ක්‍රියාකාරී වසර 2018 වේ.

2025 ජනවාරි සිට මැයි දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 1,029,803ක් පැමිණ තිබේ.

මැයි මාසයේ සාමාන්‍ය දෛනික පැමිණීම් 4,262ක් සහ සතිපතා සාමාන්‍යය 33,047ක් වේ.

මැයි මාසයේදී ඉන්දියාව ප්‍රමුඛතම සංචාරක මූලාශ්‍ර වෙළඳපොළ වූ අතර ඉන්දියාවෙන් සංචාරකයන් 47,001ක් හෙවත් මුළු පැමිණීම්වලින් සියයට 35.4ක් විය.

එක්සත් රාජධානියෙන් සංචාරකයන් 9,221ක්, චීනයෙන් 8,803ක් පැමිණ පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානයන්ට පත්ව ඇත.

භූගෝලීය උනන්දුව ඉස්මතු කරමින් බංග්ලාදේශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, එක්සත් ජනපදය, කැනඩාව සහ රුසියානු සමූහාණ්ඩුව අනෙකුත් කැපී පෙනෙන දායකයන් අතරට ඇතුළත්ව සිටී.

මිලියන තුනක සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා, වසරේ ඉතිරි කාලය සඳහා මාසික පැමිණීම් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 281,000ක් විය යුතුය.