September 15, 2026

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි වනතාවිල්ලුව, පරණ එලුවංකුලම නෙළුම් වැව් පරිසර පද්ධතියේ පිහිටි වසර සිය ගණනක් පැරණි කුඹුක් ගස් 500කට ආසන්න ප්‍රමාණයක් නාඳුනන පිරිසක් විසින් තැබූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබේ.

2025 නොවැම්බර් මාසයේදී හමාගිය දිත්වා සුළි සුළඟින් හානියට පත් එලුවංකුලම වැව් බැම්ම රුපියල් මිලියන 50ක පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතරතුර මෙම මහා පරිමාණ පරිසර විනාශය සිදුවීම දැඩි සැකයකට තුඩුදී ඇත.

අක්කර 100කට වඩා විශාලත්වයකින් යුත් මෙම නෙළුම් වැව, පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව අභයභූමියට පසුව දේශීය හා විදේශීය පක්ෂීන් විශාල වශයෙන් ලැගුම් ගන්නා දෙවන විශාලතම පරිසර පද්ධතියයි.

මීට සතියකට පෙර ආරම්භ වූ මෙම ගින්නෙන් මුලින් කුඹුක් ගස් 200කට වැඩි ප්‍රමාණයක් දැවී ගිය අතර, පසුගිය දින 2-3 තුළ තවත් කුඹුක් ගස් 300ක් පමණ ගින්නට හසුවී දැවී අළු වී තිබේ.

පරිසරවේදී ජයන්ත විජේසිංහ පෙන්වා දෙන්නේ මෙය වැව් පද්ධතියෙන් කුඹුක් ගස් ඉවත් කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවස්ථාවේ නිලධාරීන් අසල සිටියදීත් මෙම විනාශය සිදුවීම පුදුමයට කරුණක් බව ඔහු සඳහන් කරයි.

නතාවිල්ලුව ප්‍රාදේශීය ලේකම් R. ප්‍රභාකරන් පවසන්නේ වැවේ ජලය නොමැති නිසා ජපන් ජබර සහ අනෙකුත් ශාකවලට මුලින් ගිනිගෙන, පසුව එය මුල් ඔස්සේ කුඹුක් ගස් වෙත පැතිර ගොස් ඇති බවත්, මෙය මහා අපරාධයක් බැවින් පොලිසියට පැමිණිලි කළ බවත්ය.

වෙනත් වැව්වලද මෙවැනි ගිනිගැනීම් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ සමන්ති ජයමාන්න ප්‍රකාශ කළාය.

කෙසේවෙතත්, දින ගණනාවක් තිස්සේ ඇවිලී ගිය මෙම ගින්න පාලනය කිරීමට හෝ පරිසර පද්ධතිය බේරාගැනීමට වගකිවයුතු කිසිදු අංශයක් නිසි පරිදි මැදිහත් වී නොමැති බවට පරිසරවේදීහු දැඩි ලෙස චෝදනා කරති.