November 27, 2025

ලබන වසරේ ජනවාරි මාසයේ සිට පාසල් පැවැත්වෙන වේලාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට රජය සූදානම් වීමත් සමඟ, සංශෝධිත කාලසටහන යටතේ පැනනගින ප්‍රායෝගික ගැටළු කිහිපයක් විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

The Morning පුවත්පතට අදහස් දක්වමින් එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසා ඇත්තේ, මෙම තත්ත්වය ප්‍රධාන වශයෙන් දෙමළ සහ මුස්ලිම් සිසුන් ඉගෙනුම ලබන පාසල්වල ව්‍යාකූලත්වයට හේතු වනු ඇති බවයි.

දෙමළ සහ මුස්ලිම් පාසල් රැසක් සඳහා දීර්ඝ කරන ලද කාලසටහන අදාළ වන්නේ ඇතැම් දිනවල පමණක් බවත්, මෙය ඉතා ව්‍යාකූල තත්වයක් නිර්මාණය කර ඇති බවත් ඔහු පවසයි.

සිසුන් සහ ගුරුවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ප්‍රධාන ගැටළුවක් ලෙස පවතින නමුත් අමාත්‍යාංශය ඒ සඳහා කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොමැති බව ද ඔහු පෙන්වාදෙයි.

ඒ අනුව බස් සහ දුම්රිය කාලසටහන් වෙනස් කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුකර නොමැති බවත්, දුර බැහැර සිට සේවා සඳහා පැමිණෙන ගුරුවරුන් බරපතල ගැටළු වලට මුහුණදෙනු ඇති බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

එමෙන්ම ඔහු පෙන්වාදෙන්නේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකාශ කළද, සංශෝධිත කාලසටහන් කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

කෙටි කාල වේලාවක් සඳහා සිදුකරන කාලසටහන් වෙනස්කම් පවා දරුවන්ට විශාල දුෂ්කරතා ඇතිකළ හැකි බවත්, එය දරුවන්ගේ ගමන් වාර ප්‍රවේශපත්‍ර මෙන්ම බස් ගාස්තු සඳහා ද බලපෑම් එල්ල කරනු ඇති බවත්, එහෙත් මෙම ගැටළු කිසිවක් විසඳීමට අමාත්‍යාංශයට සැලැස්මක් නොමැති බවත් ඔහු චෝදනා කරයි.