February 12, 2024

ලොව වඩාත්ම අවදානමට ලක්විය හැකි සංක්‍රමණික සත්ව විශේෂයන් වඳවීයෑමේ වැඩි අවදානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම සුවිශේෂී වාර්තාවකින් පෙන්වා දී තිබේ.

කැස්බෑ පරෙවියන්ගේ සිට කොළ කැස්බෑවන් දක්වාත් යුරෝපීය ඊල් සතුන්ගේ සිට අප්‍රිකානු පෙන්ගුයින් දක්වාත් වන සංක්‍රමණික සත්ව විශේෂ, සත්ව රාජධානියේ විශිෂ්ට ගවේෂකයන් වේ.

පරාගණය කිරීම,පදාර්ථ හුවමාරුව සහ වනාන්තර නඩත්තු කිරීම මගින් පෘථිවි වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා මෙම සත්වයන් අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ලැබේ.

එහෙත් දශක ගණනාවක් පුරා පවතින නුසුදුසු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්වයන් වඳවීයෑමේ අද්දරටම පැමිණ තිබේ.

වසර 40කට පෙර ලොව බොහෝ ජාතීන් ලෝකයේ සංක්‍රමණික සත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් කරනු ලැබීය.

එය සංක්‍රමණික සත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය (CMS) ලෙස හැඳින්වේ.

මෙම සංක්‍රමණික සතුන්ගේ සංඛ්‍යාව සහ සෞඛ්‍යය පිළිබඳ පළමු ගෝලීය තක්සේරුවක් මේ වනවිට සිදු කර ඇත.

ඉන් පෙනීගොස් ඇත්තේ පර්යේෂකයන් විසින් තක්සේරු කරන ලද විශේෂ 1,189 අතරින් පහෙන් එකක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

සමහර සත්ව විශේෂ සඳහා තත්ත්වය වඩාත් නරකය.

අදාළ සම්මුතිය යටතේ ලැයිස්තුගත කර ඇති මසුන්ගෙන් 97%ක්ම අවදානමට ලක්ව සිටියි.

සම්මුතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විධායක ලේකම් Amy Fraenkel පැවසුවේ සංක්‍රමණික සත්ව විශේෂ සඳහා අඩු අවධානයක් මේ වනවිට යොමු වී ඇති බවයි.

මෙය වෙනස්කිරීමට සමත් නොවන්නේ නම්, එම සතුන් වඳවී යෑම ඇස් ඉදිරිපිටම දැකගත හැකි වනු ඇති බවත් දැනටමත් එම තත්ත්වයට මුහුණ දී වඳ වී යෑම අද්දර ද සත්ව විශේෂ කිහිපයක් සිටින බවත් ඇය පෙන්වා දුන්නාය.

වාර්තාවේ විශේෂ නිගමනය වන්නේ මෙම පරිහානියට හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බවයි.

මෙම සතුන් අධික ලෙස දඩයම් කිරීම සහ සතුන් මැරීම, වාසස්ථාන විනාශ කිරීම, දේශගුණික විපර්යාස සහ ශබ්ද සහ ආලෝක දූෂණය සමගින් නගර ප්‍රසාරණය වීම ඒ අතරින් ප්‍රධාන වී තිබේ.

එක්සත් රාජධානියේ පරිසර විද්‍යාව සහ ජල විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ පරිසර විද්‍යා නිරූපණ ශිල්පියකු වන ආචාර්ය රොබ් කුක් පැවසුවේ, සංක්‍රමණික විශේෂ විවිධ වාසස්ථාන හරහා ගමන් කරන නිසා තර්ජනවල එකතුවකට මුහුණදෙන බව වාර්තාව මගින් පෙන්වා දී ඇති බවයි.

රටවල් මීට දශක හතරකට පෙර අදාළ සම්මුතියට අත්සන් තැබුවද පැහැදිලිවම මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ නීතිවිරෝධී සත්ව ඝාතන සිදුවෙමින් පවතින බව සහ නීතිය සුරැකීමේ ඌනතාවක් පවතින බව යැයි සම්මුතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විධායක ලේකම් Amy Fraenkel පැවසුවාය.

නීතිවිරෝධී ලෙස සතුන් වෙළඳාම් කිරීම වැළැක්වීම සඳහා විශාල වැඩ කොටසක් සිදු කර තිබුණ ද ක්‍රීඩාවට, විවේකයට සහ ආහාර සඳහා මරා දමන සතුන් කෙරෙහි අඩු අවධානයක් යොමු කර ඇති බවත් ඇය පැවසුවාය.

මධ්‍යධරණී කලාපයේ වාර්ෂිකව කුරුල්ලන් මිලියන 11ත් 36ත් අතර ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස මරාදමන හෝ රැගෙන යන බවට ගණන් බලා තිබේ.

අරාබි අර්ධද්වීපයේ, ඉරානයේ සහ ඉරාකයේදී තවත් සතුන් මිලියන කිහිපයක් නීති විරෝධී ලෙස මරාදැමීමට හෝ රැගෙන යන බවට ගණන් බලා ඇත.

අදාළ වාර්තාවේ ප්‍රධාන කතුවරයා සහ UNEP-WCMCහි විශේෂ වැඩසටහනේ ප්‍රධානියා වන Kelly Malsch පැවසුවේ සංක්‍රමණයේ ස්වභාවය ද මෙම සතුන් ආරක්ෂා කිරීම අභියෝගයට ලක්කරන බවයි.

මොනාක් සමනලයා වැනි ඇතැම් සත්වයන් රටක දේශසීමා ගණනාවකින් සැතපුම් දහස් ගණනක් ගමන් කිරීම එක් උදාහරණයකි.

රටවල් වඩාත් අවදානම් සහිත සතුන්ගේ සංක්‍රමණ මාර්ගවල ස්ථාන හඳුනාගෙන ප්‍රධාන ජෛව විවිධත්ව ප්‍රදේශ ස්ථාපිත කළ යුතු බවට එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

වේලි වැනි සංක්‍රමණ මාර්ගවලට බලපාන යටිතල පහසුකම් අඩුකළ යුතු බවත් සතුන් වෙනුවෙන් ආරක්ෂිත භූමියක කොරිඩෝවක් සෑදීම වැනි ක්‍රියාමාර්ග ගැනීමටත් එය නිර්දේශ කරයි.

විනාශ වූ ගොඩබිම් සහ සමුද්‍ර ප්‍රදේශවලින් 30%ක් ප්‍රතිෂ්ඨාපනය කරන බවට සහතික විය යුතු බව ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

සංක්‍රමණික කොරිඩෝ සිතියම්ගත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලින් සතුන් ආරක්ෂා කරගත හැකි බවයි.

මෝරුන් වැනි මසුන් මුහුණ දෙන විශාලතම තර්ජනයක් වන්නේ අහඹු ලෙස මසුන් ඇල්ලීමයි.

සංක්‍රමණික මෝරුන් භාවිත කරන ප්‍රදේශ සහ ගෝලීය ධීවර යාත්‍රා නිතර ගැවසෙන ප්‍රදේශ අතර පුළුල් ගැටීමක් පවතින බව චන්ද්‍රිකා ඡායාරූප මගින් මීට පෙර අනාවරණ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් පැවසුවේ ඇය පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුබවාදීව සිටින බවයි.

සංරක්ෂණ ප්‍රයත්නයන්ට ස්තූතිවන්ත වන්නට සමහර විශේෂවල ගහනය ඉහළ යන බව දැක ඇත.

හම්ප්බැක් තල්මසුන්ගේ දකුණු අත්ලාන්තික් ගහනය පුළුල් ලෙස දඩයම් කිරීමෙන් පසු 1950 ගණන්වල මැද භාගයේදී පැවතියේ 450ක් පමණ ලෙසයි.

ආරක්ෂණ ක්‍රම හඳුන්වාදීමෙන් පසුව දැන් එම ගහනය 25,000කට වඩා වැඩි බව ගණන් බලා ඇත.

ආචාර්ය කුක් වාර්තාව පවසන්නේ කෘමීන් ඇතුළු සංක්‍රමණික විශේෂ දහස් ගණනක් තවමත් තක්සේරු කර නොමැති බවයි.

සංක්‍රමණික සත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය යටතේ ලැයිස්තුගත කර ඇත්තේ එක් කෘමියකු පමණි.

කෘමි ගහනය මැනීමට අපහසු වී ඇත්තේ ඔවුන්ට ට්‍රැකර් පැළඳිය නොහැකිවීම සහ ඇතැම් බත්කූරන් වැනි සතුන් කුරුල්ලන් මෙන් රංචු ගැසෙන්නේ නැති නිසා පහසුවෙන් දැකිය නොහැකි වන නිසයි.

මෙම පර්යේෂණයට ප්‍රතිචාර වශයෙන් සම්බන්ධීකරණ සැලැස්මක් සකස් කිරීම සඳහා රටවල ඉහළපෙළේ නිලධාරීන් උස්බෙකිස්තානයේ රැස් වීමක් පවත්වා තිබේ.